Breaking News
Home / ක්‍රිඩා / සුමතිපාල විශේෂ සම්මේලනය කැඳවා ක්‍රීඩා පනත උල්ලංගනය කර අවුරුද්දක් ඉන්න කුමන්ත්‍රනයක්. ෆයිසර්ලත් යටින් සපෝට්

සුමතිපාල විශේෂ සම්මේලනය කැඳවා ක්‍රීඩා පනත උල්ලංගනය කර අවුරුද්දක් ඉන්න කුමන්ත්‍රනයක්. ෆයිසර්ලත් යටින් සපෝට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නිර්දේශ කර තිබියදී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම මස 19 වැනිදා පැවැත්වීමට නියමිත අතිවිශේෂ මහසභා රැස්වීමේදී ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් තවත් මාස 12ක කාලයක් බලයේ රැඳී සිටීමට සාමාජික සංගම්වලින් ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ යම්කිසි විදිහකින් මෙම මස 31 වැනිදා පැවැත්වීමට යෝජිත නිලවරණය එදිනට පැවැත්වීම වාරණය කරමින් යම්කිසි පාර්ශ්වයක් නඩු මගට හෝ වෙනයම් ආකාරයකින් එය පැවැත්වීම අත්හිටු වූවහොත් යන පූර්ව නිගමනයේ සිටය.

කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පාර්ශ්වයන් සහ නීති විශාරදයන් මෙය හඳුන්වා දෙන්නේ ක්‍රීඩා පනත සහ නීතියේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් ලෙසය. එමෙන්ම යම්කිසි පාර්ශ්වයකට හෝ සාමාජික සංගමයකට අසාධාරණයක් සිදු වුවහොත් අධිකරණයට යාමේ ඇති මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් ලෙසද මෙය සමහරු අර්ථ දක්වති.

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා වන රොෂාන් බියන්විල මහතාගේ අත්සනින් යුතුව මෙම මස 10 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට්හි සියලුම සාමාජික සංගම් සහ ක්‍රීඩා සමාජවලට මෙම නිවේදනය යොමු කර ඇති අතර, වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් සිය බලය රැකගැනීමේ උත්සාහයක මේ අනුව නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජික ක්‍රීඩා සංගම් පවසයි.

අප මේ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජික සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු පෙන්වා දුන්නේ මෙය පැහැදිලිවම ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමක් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

&ක්‍රීඩා පනත සහ රෙගුලාසිවලට අනුකූලව 2016 අංක 1 දරන රෙගුලාසි යටතේ 5 උපවගන්ති II පැහැදිලි කරලා තියෙනවා කොහොමද මහසභා රැස්වීමකින් කමිටුවක් පත් කරගන්නේ සහ ඔවුනගේ නිල කාලය පිළිබඳව. අවුරුදු 04ක් දක්වා බලයේ ඉන්න පුළුවන්. එතකොට මහසභා රැස්වීමකින් තමයි නිලවරණයක් පැවැත්විය යුතු වන්නේ. විශේෂ මහසභා රැස්වීමකින් හෝ අතිවිශේෂ විශේෂ මහසභා රැස්වීමක් තියලා නිලවරණයක් තියන්න බැහැ. විශේෂ මහසභා රැස්වීමක් හෝ අතිවිශේෂ විශේෂ මහසභා රැස්වීමක් නිල කාලය අඩු කිරීමක් හෝ දීර්ඝ කිරීමක් කරන්න බැහැ. එය මහාසභා රැස්වීමකින්ම කළ යුතුයි.

නව රෙගුලාසිවල 5 (I) පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම පහත දැක්වෙන නිලධරයන් ඇතුළුව තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවන්ගෙන් සමන්විත වන කමිටුවක් තෝරා පත් කරගත යුතුය කියලා. තෝරා පත්කර ගන්නවා කියන්නේ තෝරාගෙන පත් කරගැනීමක්. එහෙම නැතුව අනුමත කරගැනීමක් නෙමෙයි. එසේම නව රෙගුලාසිවල 5 (2) (i) පැහැදිලිව සඳහන් කරලා තියෙනවා සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම කමිටුවේ සෑම නිලධරයෙකුම වාර්ෂික මහසභා රැස්වීමේදී තෝරා පත් කරගනු ලැබිය යුතුය යන්න පිළිබඳව. විධායක කමිටු තීරණයකින්වත්, විශේෂ මහසභා රැස්වීමකින්වත් එය කළ නොහැකියි. දැන් ඉන්න පරිපාලනය 19 වැනිදා ගෙන එන්න හදන කාරණාවලින් ඔවුනට අධිකරණයේ නඩුවක් පැවරුවත් තවත් මාස 12ක් බලයේ ඉන්න පුළුවන්. මෙය ක්‍රීඩා පනතේ සහ රෙගුලාසිවල තිබෙන කොන්දේසි උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඇතිවෙනවා නම් මාස 03ක් කල් දෙන්න ඕන. එම සංශෝධන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන්න ඕන.

නීති සහ රෙගුලාසි අනුව බැලුවාම මෙම පත්වෙලා ඉන්න කමිටුවට බැහැ පස්සට බලපාන නීති ගෙන්න. ඒ කියන්නේ අවුරුදු දෙකකට පත්වෙලා ඒ කාලය ඉවර වුණාම තවත් අවුරුද්දක් ඉන්න බලයක් ඔවුන්ට ගන්න බැහැ වාර්ෂික මහසභා රැස්වීමකදී හැරෙන්න. වත්මන් පරිපාලනය බලන්නේ මේ කිසිදෙයක් නොකර නිලවරණයකට නොගිහින් වසර දෙකක කාලයකට පත්වුණු සාමාජිකයන්ගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරගන්න. මේක ව්‍යවස්ථා විරෝධී, නීතියට පටහැනි, ඒ වගේම නීතියේ ස්වාධීනත්වයට පටහැනිව කටයුතු කිරීමක්* යැයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ක්‍රිකට් පරිපාලනයට නිලවරණයකින් බලයට පත්වීමේ අවස්ථාව තිබියදී එසේ නොකර වසර දෙකක කාලය අවසන් වීමේදීම යළිත් වසරකින් ඔවුනගේ කාලය දීර්ඝ කර ගැනීමට ගන්නා නරක පූර්වාදර්ශ සැපයීමේ උත්සහයක් වශයෙන් මෙය හැඳින්විය හැකි බව පණ්ඩුක කීර්තිනන්ද මහතාගේ අදහසයි.

මේ අයුරින් ඔවුන් ක්‍රියා කරන්නේ නම් ඔවුනට විශේෂ මහසභා වාර මාසෙන් මාසෙට කැඳවා ඔවුනගේ කාලය වසරක්, දෙකක් යනාදී වශයෙන් දීර්ඝ කරගත හැකි වන බවත්. මෙය ක්‍රිකට් ක්‍රීඩාවට සහ පරිපාලනයේ අනාගතයට වැරදි පූර්වාදර්ශ සැපයීමක් ලෙසද හෙතෙම පවසයි.

මේ ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඇමතිවරයාගේ බලතලද බල ශුන්‍ය වන්නේය. එය ක්‍රීඩා පනතටද පටහැනි වන බව මේ වනවිට නීති විශාරදයෝ පවසති. එමෙන්ම වත්මන් පරිපාලනයේ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 33 වැනි වගන්තියෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලබාදී ඇති අතුරු කමිටු පත් කිරීමේ බලයට පරස්පර විරෝධී ක්‍රියාවක්ද වන බවත් යම් ක්‍රීඩා සංගමයක නිලධාරීන් පිරිසක් නීති විරෝධී කටයුත්තක් කර තිබියදී ඇමතිවරයා විසින් අතුරු පාලක කමිටුවක් පත්කිරීමේ කටයුත්තට විරෝධීව යාමක් ලෙසත් මෙය හඳුන්වා දීමට හැකි බව කීර්තිනන්ද මහතා පවසයි. එනිසා අධිකරණ නියෝගයක් හෑල්ලුවට ලක්කරමින් රෙගුලාසි හෝ ව්‍යවස්ථාව සංශෝධනය කළ නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් වහා මැදිහත්ව ක්‍රීඩා පනතට පටහැනි මෙම ක්‍රියාව නතර කළ යුතු යැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!