Breaking News
Home / දේශීය පුවත් / වයස 18 පිරෙන්න කලින්ම ව්‍යාපාර කරන්න උත්සහා කල නුවරින් ඇමරිකාවට ගොස් සම්මාන පිට සම්මාන ලබා ගත් අපේ රටේ දිරිය කත

වයස 18 පිරෙන්න කලින්ම ව්‍යාපාර කරන්න උත්සහා කල නුවරින් ඇමරිකාවට ගොස් සම්මාන පිට සම්මාන ලබා ගත් අපේ රටේ දිරිය කත

වස විස නැති ආහාර වෙනුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේ ශ්‍රි ලාංකීය රසය ව්‍යවසායක ගති ලක්‌ෂණ බොහෝ උදවියගේ ජීවිතය සමගම මුහුකුරා යන්නේ ඔවුන්ගේ හිතේ පැලපදියම් වී තිබෙන ව්‍යාපාරික සිහින සමගයි.

හිතේ කොනක සැඟවිලා තිබෙන මේ හීන හැමදාම සිහිනයක්‌ නොවන්නේ ඔවුන් වෙතින්ම ඒ වෙනුවෙන් දක්‌වන උනන්දුව හා කැපවීම නිසයි.

මේ කතා නායිකාව එවන් සිහිනය සැබෑ කර ගත් ඉතාම සාර්ථක ව්‍යවසායිකාවක්‌.

මහනුවර උපත ලද ඇය “අයෝමා කරුණාසේන “නම් වූවාය. කුඩා කාලයේ පටන්ම ඇය තුළ කිසියම් ව්‍යාපාරයක්‌ වෙත යොමු වෙන අරමුණ පැවැතුනා පමණක්‌ නොව ඒ වෙනුවෙන්ම ඇය නිරන්තරව සිහින මැව්වාය. එම සිහින සැබෑ වීමට වඩාත් බලපෑ හේතුව වුණේ ඇය තුළ නිසර්ගයෙන්ම පිහිටා තිබුණ හැකියාවන් බවත් නොරහසකි.

ගැහැණු දරුවෙක්‌ ලෙසින් බාල කාලයේ පටන්ම ඉවුම්, පිහුම් මැහුම් ගෙතුම් වෙනුවෙන් සහජයෙන්ම පිහිටි හැකියාව නිසාම ඇයට කුමන හෝ අංශයකින් ස්‌වාධීනව තම ජීවිතය ගොඩනඟා ගැනීමට කිසිදු බාධාවක්‌ නොවීය.

ව්‍යාපාරික සිහිනය

“එක්‌ අවස්‌ථාවක මට අහම්බෙන් වගේ ව්‍යාපාරික සඟරාවක්‌ කියවන්න ලැබුණා. එහි තිබුණේ අපේ රටේ කිරි සහ පිටරට කිරි සංයෝගයෙන් සකස්‌ කරන ලද යෝගට්‌ එකක්‌ ගැනයි. මං මේ යෝගට්‌ එක හදන්න සෑහෙන්න මහන්සි වුණා. විටින් විට අත්හදා බලන්න අමුද්‍රව්‍ය ගන්න මට මුදල් අවශ්‍යයි.

කැට එකතු කර ගෙන තිබුණ මුදල් යොදා ගත්තා. තාත්තාගේ කාර් එක හෝදලා ඒ වෙනුවෙන් මුදල් ඉල්ලා ගෙන යෝගට්‌ අත්හදාබලන මගේ වෑයම වෙනුවෙන් යොදා ගත්තා. මගේ යෝගට්‌ නිෂ්පාදනය 11 වතාවක්‌ වැරදුනා. මම නැවතුනේ නැහැ. 13 වැනි වතාවේදී යෝගට්‌ එක හොඳින්ම සෙට්‌ වුණා.

දැන් මට මේ යෝගට්‌ එක වෙළඳපොළට හඳුන්වා දෙන්න උවමනාව තිබුණා. වෙළෙඳපොළට දාන්න නම් ව්‍යාපාරයක්‌ විදිහට ලියාපදිංචි කරන්න අවශයි. ඒ වෙන කොට ම පාසල් දැරියක්‌ මට වයස අවුරුදු 18 සම්පූර්ණ නැති නිසා ව්‍යාපාරය ලියාපදිංචි කිරීමට බැහැ. මගේ හීනය කොහොම හරි මේ යෝගට්‌ එක වෙළඳපොලට හඳුන්වා දෙන්න.

නිර්මාණශීලී උත්සාහය

මම දවසක්‌ අපේ විදුහලේ විදුහල්පතිනිය මුණ ගැහුනා. පසු කාලයක කොළඹ මියුසියස්‌ විදුහලේ විදුහල්පතිනියව සිටි නැසීගිය එන්. කේ. පිලපිටිය මහත්මිය එවකදී හිටියේ මහනුවර මහමායා බාලිකා විදුහලේ විදුහල්පතිනිය විදිහටයි. ඉතාම ගාම්භීර වුණත් මනුස්‌සකමින් පිරුණ විදුහල්පතිනියක්‌. මම යෝගට්‌ එක පාසලේ කැන්ටිමට දාන්න ඇහුවා විතරයි ඇය කැමැත්ත දුන්නා. මට දැන් හරිම සතුටුයි.

කැමැත්ත ලබා ගත්තා වගේම මම කෙසේ හෝ වෙළෙඳපොළ ඉලක්‌ක සපුරා ගන්න ඕන. මෙතෙක්‌ නිෂ්පාදනය කළ වට්‌ටෝරුවට අලුත් යමක්‌ එකතු කළා. උඩින් පලතුරු සහ වර්ණවත් ජෙලි කැබැලි කීපයක්‌ යොදා ගෙන අලංකාර කළා. දැන් පාසලේ කැන්ටිමේ තිබෙන්නේ ඉතාම අලංකාර යෝගට්‌ එකක්‌.

කොහොම අලංකාර කළත් ඒ ගැන කවුරුවත් දන්නේ නැත්නම් මගේ යෝගට්‌ වෙනුවෙන් අලෙවියක්‌ නැති බව මම දන්නවා. ඒ නිසා කලූලෑල්ලක ” මිකීමවුස්‌ ” ඇඳලා මේ විදිහට පාඨයක්‌ හුණුකූරෙන් සටහන් කළා. එතැනින් ඊතලයක්‌ ඇඳල කැන්ටිම තිබෙන දිසාව ඊතලයෙන් පෙන්නුම් කරනු ලැබුවා.

“Buy my yorgat & see the difference” වැඩිකාලයක්‌ ගත වුනේ නැහැ යෝගට්‌ වෙනුවෙන් විශාල ඉල්ලුමක්‌ ඇති වුණා.

1988 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති අඳුරු කාලපරිච්ඡේදයේදී ඇයටත් රැකියාවක්‌ වෙනුවෙන් අදහස පහළ වූවාය. මේ නිසා අයෝමා කොළඹ සමාගමක සේවයට සම්බන්ධ වූවාය. ඇයට තම අනාගත සැමියා මුණ ගැසුනේ අනාගතයේදී ජාත්‍යන්තර ඇගයීම් ලැබීමට පැවැති වාසනා ගුණය නිසාම විය හැකිය. යම් හෙයකින් එදින ඔහු හමු නොවුණානම් අයෝමාගේ නම ජාත්‍යන්තරයට එක්‌ නොවන්නට ඉඩ තිබුණි.

ඔහු “විලන්”නම් වූ ඇමරිකානු ජාතික වෛද්‍යවරයෙක්‌. වෛද්‍ය පර්යේෂණයක්‌ වෙනුවෙන් වූ දත්ත එක්‌රැස්‌ කිරීමට පැමිණි ගමනේදී ඔහුට අයෝමා මුණ ගැසුන අතර එම හමුවීම නිසා ඔවුනොවුන්ගේ දැන හැඳින ගැනීමෙන් වසර එකහමාරකට පසු එනම් 2000 වසරේ මේ දෙදෙනා විවාහ වී ඇමරිකාවේ බොස්‌ටන් නුවර බලා ගියහ.

අයෝමාගේ ජීවිත ගමනේ තවත් ලස්‌සන කාලපරිච්ඡේදය ආරම්භ වන්නේ එතැන් පටන්ය. ඇය ඇමරිකාව බලා යන විට තද හිමපතනය සහිත කාලගුණ තත්ත්වයක්‌ පැවැතුන නිසා ඇයට මෙම කාලගුණ තත්ත්වයට ඔරොත්තු දීම අපොහොසත් විය.

මේ නිසා ගිලන් වුණ අයෝමාට කටට රසට ආහාරයක්‌ වෙනුවෙන් අපේ රටේම බතක්‌, පොල්සම්බෝලයක්‌ සොයා ගැනීමට ඉඩක්‌ තිබුණේම නැත. ඇගේ සැමියා විලන් විවිධ ආපනශාලාවන් වෙත විමසමින් ශ්‍රී ලංකාවේ ආහාරපාන ගැන විමසා සිටියත් ඔහුට ඒ ගැන ලැබුණේ ඉතාම අල්ප තොරතුරුය.

සුවය ලැබීමෙන් පසුව අයෝමාට ව්‍යාපාරික සිතුවිල්ලක්‌ හිතේ ඇති වුණේ පසුගිය කාලවකවානුවලදී අපේම රටේ ආහාරපාන නොමැතිව ඇය ලද අපහසුතාවයට පිළියම් ලෙසින්ය.

“මට හිතෙනවා ලංකාවේ ආහාරපාන තියෙන අවන්හලක්‌ පටන් ගන්න…” ඇය තම ස්‌වාමිපුරුෂයාට කියා සිටියාය.

ව්‍යාපාර කිරීම එතරම් පහසු නැහැ. මුදල් වෙනුවෙන් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. අපට ආර්ථිකය පිළිබඳ ගැටලු නැහැ. ඒ නිසා අනවශ්‍ය විදිහට මහන්සි වෙන්නේ මොකටද…ඔහුගේ අදහස විය.

නිවසේ හුදෙකලාව සිටීම අසීරු නිසාම අයෝමා ඇමරිකාවේ මෝස්‌තර ආයතනයක සේවයේ යෙදුනාය. ඇයට අවශ්‍ය වුණේ මුදල් නොව තමාගේ කාලය කුමන හෝ ඵලදායක දෙයක්‌ වෙනුවෙන් යොමු කිරීමටය. මේ නිසා ඇයට ඇමරිකාවේ ව්‍යාපාරික සංස්‌කෘතිය පිළිබඳවත් කිසියම් දළ අදහසක්‌ ගොඩනැඟී තිබුණි.

දැන් තමාගේ අදහස මුදුන්පත් කර ගැනීමට හොඳම කාලය එළැඹ ඇතැයි ඇය සිතුවාය. එදාට වඩා දැන් ඇය වටපිටාව ගැන දැනුවත්ය. සැමියගෙන්ද ලද අවසරය මත අවන්හල ආරම්භ කිරීමේ සුබ මොහොත උදාවිය.

2008 වසරේදී කැලිෆොaනියාවේ සැන්ටාකෘස්‌ ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම අවන්හල ඇය නම් කරනු ලැබුවේ “සයුරේ මුතු ඇටය (pearl of the ocean) යන නමින්ය. “මෙම හෝටලයේ දොර රෙදි, ජනේල සහ මේස රෙදි පිළියෙල කර ගත්තේ මමයි.” ලංකාව ඉන්දීය සාගරයේ මුතු ඇටය යන සංකල්පය අයෝමාගේ හිතේ තදින්ම කාවැදී තිබුණි. ලෝක සිතියමක්‌ දෙස බැලූ හැම විටම ඇය ලංකාව දුටුවේ මුතු ඇටයක්‌ ලෙසින්ය. මේ වටිනාකම සමග තම ජන්මභූමිය ජාත්‍යන්තරයේදී පවා ඉස්‌මතු කිරීමට ඇය තමාගේ ව්‍යාපාරය වෙනුවෙන් මේ සුවිශේෂී නම තෝරා ගත්තාය.

වස විස නැති ආහාර ගැන හැම දෙනාම කතා බහ කරන යුගයක ඒ වෙනුවෙන් වූ අවන්හලක්‌ ආරම්භ කිරීම වඩාත් කාලෝචිත බැව් අයෝමාගේ අදහස විය. තමාගේ හිතට නැගුන කුමන හෝ අදහසක්‌ මත ඉලක්‌කයක්‌ පිහිටුවා ගෙන ඒ ඔස්‌සේ හඹා යැම ඇගේ ජීවිතයට බද්ධව තිබුණ ගති ලක්‌ෂණයක්‌ විය.

වස විස නැති ආහාර වෙනුවෙන් වස විස නැති ගොවිතැනක්‌ද අවශ්‍ය බැව් දන්නා නිසාම ඇය ඒ වෙනුවෙන් වූ සහතික විය හැකි ගොවිපොළවල් සොයා ගත්තාය. වත්ත පිටිය, ගහ කොළ, පලතුරු හොඳින් හඳුනන මහපොළවේ පය ගසා සිටි නිසා අයෝමාට ලංකාවේ එළවළු පලතුරු ගැන අමුතු අටුවා, ටීකා අවශ්‍ය වූයේ නැත. රතුහාලේ බතේ පටන් දිවුල්, පේර වැනි පලතුරු දක්‌වාම ඇය අවධානය දක්‌වන ලදී. ඇය මේ සියලු සැපයුම් ලබා දෙන මාධ්‍ය සොයා ගත්තාය.

ඔබ දවස පටන් ගන්නේ

“මම උදෙන්ම භාවනා කරනවා. දවස පටන් ගන්නේ ඒ විදිහටයි. ආපනශාලාව ආරම්භයේදී මමත් සේවකයන් පිරිසත් එක්‌වෙලා ආශිර්වාද සිතුවිල්ලක්‌ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම ඇස්‌ වහගෙන මේ විදිහට මෙනෙහි කරනවා.” කවදා හෝ දිනක මේ ආපනශාලාව ඉදිරිපිට වාහල පෙරහැරක්‌ පෙළ ගැසී සියලුම ආසන පිරී, මිනිසුන් ගෙන් වැසී යන දිනයක්‌ උදාවේවා කියන ආශිර්වාදය සිතින් සිතනවා.”

ඔබේ ආශිර්වාදය සැබෑ වුණ අවස්‌ථාවක්‌

ඔව්.. එය හරිම අපූරු සිද්ධියක්‌. එක්‌ දවසක්‌ මම ආපනශාලාව කලින් වැසුවේ මේස රෙදි ටික මසා අවසාන කර ගැනීමටයි. හරියටම වේලාව හවස දෙකයි තිහ විතර වුණා. සේවකයන් පවා ගෙදර ගිහින්. එක්‌ කාන්තාවක්‌ ආපනශාලාවට ඇවික්‌ මගෙන් පලතුරු යුෂ බීම වීදුරු තුනක්‌ ඉල්ලා හිටියා. මම ඒවා ඇයට පිළියෙල කරල දුන්නා.

එකක්‌ බීලා ඉතිරි දෙක ගෙනියන්න සූදානම් කර දෙන්න කිව්වා. මම ඒකත් කරල දුන්නා. දැන් ඇය රාත්‍රි ආහාර තුනක්‌ ඉල්ලා සිටියා. මම විතරමයි මේ වේලාවේ හිටියේ. දැන් මට මේස රෙදි මහන්න යන්නත් ඕන ඒත් මම කමක්‌ නැහැ කියල හිතාගෙන ඒවාත් පිළියෙළ කරල ඇයට ගෙනියන්න සූදානම් කරල දුන්නා. ඇය මට 25% ක විශේෂ ප්‍රසාද මුදලකුත් දීලා ගියා. ඒ කතාව එතැනින් එදාට අවසාන වුණා.

එක දවසක්‌ මම ආපනශාලාව විවෘත කළා විතරයි. වාහන පෝලිමක්‌ අපේ ආපනශාලාව ඉදිරිපිට පෙළ ගැහුනා. මිනිසුන් ඇවිත් ආසන සේරම පිරුනා මටත් හිතාගන්න බැහැ. හරිම කලබලයි.

මේ වෙලාවේ මගේ ආපනශාලාවට අසරණ පුද්ගලයෙක්‌ ආවා. පැමිණි සිටි පිරිස ඔහු දිහා බලාගෙන හිටියේ මම මේ අසරණ පුද්ගලයා ආපනශාලාව ඇතුළට ගනීද කියන සැකයෙන්. මම කිසිම පසුබෑමක්‌ නැතුව ඔහු ඇතුළට ගත්තා.

මේ පත්තරේ මුල් පිටුවේ ලස්‌සන නෝනා කෙනෙක්‌ ඉන්නවා… ඔහු කිව්වා. බලනකොට ඒ මගේ ඡායාරූපය සමග විස්‌තරයක්‌. මම ඔහුට මුදල් දීලා පත්තරය ගත්තා. එදා මගෙන් ආහාරපාන මිලට ගත් මහත්මිය ප්‍රසිද්ධ ලේඛිකාවක්‌. ඇය මේ විස්‌තරය පත්තරයේ පළ කිරීම නිසා තමයි අර විදිහට සෙනඟ ගංගාවක්‌ මගේ ආපනශාලාවට ඇවිත් පිරුනේ…”

ශ්‍රී ලාංකීය ආහාර පමණක්‌ නොව පරිසරයද ඒ අනුව ගොඩනැඟීම ඇගේ අවශ්‍යතාවය වූයෙන් “පර්ල් ඔෆ්ද ඕෂන් “ඉදිරියේ බුදුපිළිම වහන්සේ නමක්‌ ස්‌ථාපිත කළාය. ආහාරපාන පිළිබඳව විශ්වසනීයත්වය වෙනුවෙන් හෘද සාක්‌ෂියට වඩා වෙනත් විශ්වාසයක්‌ නැත. මේ නිසා එහි මුල්ම කෝකියා වූයේ අයෝමාය. විදේශීය රටක, විදේශීය ආහාර සංස්‌කෘතියක්‌ වෙනුවෙන් අපේ දේහීය ආහාර හඳුන්වා දීම එතරම් පහසු කාර්යක්‌ නොවේ.

මේ වෙන විට ලංකාවේ ආහාරපාන තබා ශ්‍රී ලංකාව යන නමවත් එතරම් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ නැත. චීන, ඉතාලි ආහාර වෙනුවෙන් වූ දැන හඳුනාගැනීම සහ ඉල්ලුම තුළ තරගය සුළුවෙන් සැලකීමට නොහැක. එහෙත් අයෝමා මේ සියලු අභියෝග භාරගත්තාය.

ඇය පෙරට තැබූ පියවර ඉදිරියෙන් ඉදිරියටම ඇදුනේ පර්ල් ඔෆ් ද ඕෂන් යන කීර්තිනාමයට වැඩි වටිනාකම් ලබා දෙමින්ය. කාබනික ආහාර පාන වෙනුවෙන් වූ වටිනාකම සමග වඩාත් ඉස්‌මතුව තිබුණේ ඒ වෙනුවෙන් වූ පිළිගැනීමයි. වස විස නැති ආහාර ලබා ගැනීමට පැමිණි පිරිස්‌ අතර පිළිකා රෝගීන් පවා වූහ. පිළිකා රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ලබන සහ සුවය ලද පුද්ගලයන් වස විස නැති ආහාර පාන විමසමින් මෙතැනට ඇදී ආහ.

අයෝමාගේ ආපනශාලාව පිළිබඳව වූ පිළිගැනීම, ජනප්‍රියත්වය සහ සත්කාර්යය නිසාම ඇය වෙනුවෙන් ප්‍රචාරණයන් අවශ්‍ය වූයේ නැත. මේ කාලවකවානුවේදී එනම් 2009 වසරේදී ඇමරිකාවේ හොඳම අවන්හල තේරීමේ තරගය සංවිධානය වෙමින් පැවැතුණි.

වසරක්‌ වැනි කෙටි කාලයකදී තමාගේ ” පර්ල් ඔෆ් ද ඕෂන් ” වෙනුවෙන් ඇගයීමක්‌ හෝ සම්මානයක්‌ බලාපොරොත්තු නොවීය. අයෝමාගේ “පර්ල් ඔෆ් ද ඕෂන් ” අවන්හල වසරේ හොඳම අවන්හල ලෙසින් සම්මාන ලබා සිටි බැව් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්‌ෂ ජෙනරාල් “බොබී කෙනඩි” විසින් නිවේදනය කරන ලදී.

සම්මානයෙන් ලද ජවය සමග අයෝමා තවත් ආලෝකයක්‌ ලැබුවාය. ඒ ආලෝකයෙන් ඇය පමණක්‌ නොව ඇගේ ” පර්ල් ඔෆ් ද ඕෂන් ” අවන්හලද ආලෝකය ලබන්නනට විය. නිහතමානී ගතිය නිසා තවත් දුර ගමනක්‌ වෙනුවෙන් ඇය ආශිර්වාද ලැබුවාය. 2013 වසරේ ඇමරිකාවේ හොඳම සූපවේදීයාගේ Best Chefs America award winner in 2013 සම්මානයෙන් පිදුම් ලබන්නට අයෝමා වාසනාවන්ත වූවාය. ඇමරිකානු ඉතිහාසයේ සූපවේදී සම්මානයෙන් පිදුම ලද ප්‍රථම කාන්තාව වූයේද ඇයයි.

ව්‍යවසායක ගති ලක්‌ෂණවලින් හෙබි ඇය තම ආහාර සංස්‌කෘතියේ තව තවත් නිර්මාශීලී මෙහෙවර වෙනුවෙන් උත්සාහ ගත්තාය. ඇයට වයින් නිෂ්පාදනය සඳහා අදහසක්‌ පහළ වුණේ බටහිරට ගැලපෙන වයින් වෙනුවෙන් නොව අපේ රටේ හාල්මැස්‌සන්, උම්බලකඩ, කරවල, පොල්සම්බෝල වැනි ආහාර සමග ගැලපෙන වයින් වර්ගයක්‌ වෙනුවෙන්ය. අයෝමා මේ වෙනුවෙන් සම්බන්ධ කර ගත්තේ ජාත්‍යන්තර කීර්තියට පත් “පැට්‌ පොල්සන්” ඡ්එ ඡ්මකිeබ යන වයින් නිෂ්පාදනය පිළිබඳ විශේෂඥවරයාය. ඔහුගේ හමුවීමට ඇය හය වසරක්‌ පෙරුම් පිරුවාය.

“මේ කාර්යය හිතන තරම් පහසු නැහැ. මම ලංකාවේ ආහාරපාන ගැන දන්නේ නැහැ. ඒ නිසා මම මුලින්ම ලංකාවේ ආහාර ගැන දැනගන්න ඕන.” පැට්‌ පොල්සන් කියා සිටියේය. අයෝමා ඔහු වෙනුවෙන් ලංකාවේ සියලු ආහාරපාන ලබා දුන්නේ ඇයට අවශ්‍ය ලෙසින් මේ වයින් වර්ගය නිෂ්පාදනය කර ගැනීමටයි.

මේ සඳහා වසර හතරක්‌ අධ්‍යනයන් කළ අතර පරීක්‌ෂණ වාර 17 ක්‌ පසු විය. මෙම වයින් සමාජගත කිරීමත් එතරම් පහසු නැත. ඇයගේ වයින් අවන්හල ස්‌ථානගත වූයේ කැලිෆොaනියාවේ “නාපා වැලි” යනුවෙන් හැඳින්වෙන වයින් වෙනුවෙන් විශේෂත්වයක්‌ ලද ප්‍රදේශයකයි.

මේ අතර ව්‍යාපාරික කණ්‌ඩායම් විසින් කියා සිටියේ මේ වෙනුවෙන් ඇගේ නම යොදා ගැනීම ඉතා වැදගත් බවයි. මිදි යොදා ගෙන නිෂ්පාදනය කරන මෙම රතු වයින් ඇය නම් කරනු ලැබුවේ “අයෝමා රෙඩ් පර්ල්” ලෙසින්ය. සුදු වයින් ප්‍රභේදය “අයෝමා වයිට්‌ පර්ල්” යනුවෙන් නම් කරන ලදී. ලේබලයේ ඇගේ රූපයත් සටහන් කරනු ලැබුවා. ඇමරිකාවේ වෙළෙඳ නිෂ්පාදනයක්‌ කාන්තාවකගේ රූපයක්‌ යොදා ගත් ප්‍රථම අවස්‌ථාවත් මෙය ලෙසින් හඳුන්වන්න පුළුවන්.

ව්‍යවසායිකාවක්‌ ලෙසින් අයෝමා විලන් ජයග්‍රාහී ගමනක සුවිශේෂී සටහන් තබා ඇත. ඇගේ ව්‍යවසායක ජීවිතය ආපසස්‌ට හැරී බලන විට ගත යුත ආදර්ශ බොහෝය. නොවැටී සිටීම නොව වැටි වැටී නැඟී සිටීමේ සහ අරමුණ හඹා යැමේ සිය අත්දැකීම් ඇය සමාජයට ලබා දෙන පණිවිඩයයි.

ජීවිතය ජයගන්නා ධනාත්මක චින්තනය මුල් කර ගත් දේශන වෙනුවෙන් අයෝමා තමාගේ දවසේ කාලය වෙන්කර ගෙන ඇත. විශ්වවිද්‍යාල, තරුණ සමිති, කාන්තා සමිති පමණක්‌ නොව පිරිමින්ගේ සමිති සහ වෙනත් සමාජයන් වෙනුවෙන්ද ඇය දේශන පවත්වන්නීය. ඇගේ අත්දැකීම් පාදක කර ජීවිතය ගොඩනඟා ගන්නේ නම් තවත් සාර්ථක ව්‍යවසායකයකුගේ මූලාරම්භය වෙනුවෙන් සුවිශේෂී මාර්ගෝපදේශකත්වයක්‌ ලැබෙනු ඇත.

– පුන්‍යා චාන්දනී ද සිල්වා

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!