Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ ප්‍රධාන පක්ෂ සියල්ල අර්බුධයක. පොහොට්ටුවේ සහෝදරයන් අතර මත ගැටුම් හා 2020 අපේක්ෂකයා ස්ථිර කරගැනීමට පොහොට්ටුවේ නායක කම මහින්දට

ලංකාවේ ප්‍රධාන පක්ෂ සියල්ල අර්බුධයක. පොහොට්ටුවේ සහෝදරයන් අතර මත ගැටුම් හා 2020 අපේක්ෂකයා ස්ථිර කරගැනීමට පොහොට්ටුවේ නායක කම මහින්දට

ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම අර්බුද අරගල හා ඉරිතැලීම් මධ්‍යයේ ඉදිරියට තල්ලුවන දේශපාලනය බෙහෙවින් ව්‍යාකූලය.එ.ජා.ප.යේ හා ශ්‍රී ල.නි.ප.යේ තිබෙන අර්බුදකාරී තත්ත්වය කලක පටන් පවතින්නකි.

එහෙත් අලුතෙන් බිහිවූ පොහොට්ටුවේද පහුගිය සතියේ දේශපාලන කුණාටු හමා යන්නට විය. මෙම දේශපාලන කුණාටුවට බලපෑ සැබෑ හේතුව තවත් වසර 1 ½කින් පමණ පවත්වන්නට නියමිත මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුද යන ප්‍රශ්නයයි.

සමාජයේ බොහෝ තැන්වල විපක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස කතාබහට ලක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඇමෙරිකානු තානාපතිවරයා පසුගියදා මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්න කළේද අපේක්ෂකයා ගෝඨාද කියායි.

එ.ජා.ප.ය ඍජුව හා වක්‍රව දැන් ගෝඨා ඉලක්ක කර දේශපාලන ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන ඇත. පසුගියදාක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළේ විශ්‍රාමික හමුදා ප්‍රධානියකු ජනපති සටනට එන්නට හදන වගයි.

මේ ආකාරයට ගෝඨාගේ නම සමාජ ගත වෙද්දී ඒකාබද්ධයේ තිරය පිටුපස මොළකරු හා සංවිධායක වන බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ගැන තබාගත් අපේක්ෂා ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් මතුව ඇත.

බැසිල්, නාමල්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සියලුදෙනා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාට තීරණාත්මක බලපෑම් එල්ල කරති. කසේ හෝ ප්‍රශ්නය එළියට පැන්නේ පසුගියදා නියෝජ්‍ය කතානායක පදවිය සඳහා නාමයෝජනා කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙනුවෙන් ඡන්දය දෙන්නැයි මහින්ද කළ ඉල්ලීම නොතකමින් මන්ත්‍රී පිරිසක් මැතිසබය වර්ජනය කිරීමත් සමඟය.

ඒ ගැන මහින්ද රාජපක්ෂ මහතා කෝපයට පත්වූ අතර දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධයේ නායකයෝ පක්ෂ නායක හමුව වර්ජනය කළෝය. ගම්පහ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධයට අවශ්‍ය නැතැයි ප්‍රකාශ කළ අතර කකුල් දෙක දෙපැත්තේ තබාගෙන සිටින්නන් කොහොමටත් එපා යැයි කීය.

ඉන් අනතුරුව මේ ගැන බැසිල් රාජපක්ෂ මහතාද වාර දෙකක්ම අදහස් දැක්වූ අතර පොහොට්ටුව සාගරයක් බවත් කුණු කාණුත් ඊට ගලන වගත් සඳහන් කරමින් 16 දෙනාට ප්‍රහාරයක් එල්ල කළේය. අනතුරුව තවත් ජනහමුවකදී බැසිල් කීවේ තම ආණ්ඩු කාලයේ සිදුවූ රතුපස්වල වෙඩි තැබීම හා කටුනායක වෙඩි තැබීම වැනි සිදුවීම් ඉදිරි ආණ්ඩුවකදී සිදු නොවිය යුතු වගය.

මෙය අනියමින් ගෝඨාභය ඉලක්ක කරමින් කළ කතාවක් බවට ආරංචි පැතිරෙද්දී ගෝඨා ඊට උත්තර දෙන්නට ගියේ නැත. උත්තර දුන්නේ මහින්ද රාජපක්ෂය. මහනුවර පැවති ජනහමුවකදී “කටුනායක වෙඩි තැබීම ගැන අපේ ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. නමුත් ඊට පස්සෙන්දම අපි පොලිස්පතිව අයින් කරල අවශ්‍ය නීතිමය පිළියම් යෙදුව ඒක ඔය කතාකරන සමහරුන්ට මතක නැහැයැයි මහින්ද කීවේ බැසිල්ගේ කතාවට පිළිතුරු ලෙසය.

මේ ආකාරයට ගැටලු මතුවෙද්දී 16 දෙනාගේ කණ්ඩායම මාතලේ පැවති ජනහමුවේදී බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කරමින් අදහස් දැක්වීය. එස්.බී., ඩිලාන් සහ දයාසිරි ජයසේකර යන තිදෙනා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු බැසිල් කාටත් නොකියා ඇමෙරිකාවට ගිය බව කියමින් තවත් නොයෙක් චෝදනා නැගූහ.

මේ ආකාරයට පොහොට්ටුව කණ්ඩායම හා සෙසු පිරිස් අතර වාද විවාද හටගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා 16 දෙනාගේ කණ්ඩායමේ ජෝන් සෙනෙවිරත්න, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ආදීන්ට දුරකතනයෙන් කතා කළේය. ඒ අයගේ සහය විපක්ෂයට අවශ්‍ය බව කී මහින්ද තම කණ්ඩායම සමඟ එක්වීමට තිබෙන බාධා ඉවත් කරගෙන කඩිනමින් ඒකාබද්ධය සමඟ එක්වන්නැයිද තිබෙන ගැටලු තමන් විසඳන්නම් යැයිද පොරොන්දු වීය.

ඉන්පසුව බැසිල් රාජපක්ෂ මහතා ඇමතූ මහින්ද තමන් ප්‍රශ්න විසඳන තෙක් නිහඬව සිටින්නැයි උපදෙස් දුන්නේය. අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා හෝ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අර්බුදකාරී කතා කියන්නට ගියේ නැත.

ඒ අතර 16 දෙනාගේ කණ්ඩායම විශේෂ තීන්දුවකට එළඹෙමින් ඒකාබද්ධයට ලිපියක් ලියන්නට තීන්දු කළේ තම කණ්ඩායමට ඔවුන් පවත්වන විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රුස්වීමට සහභාගිවීමට හැකිදැයි විමසීමටය. මේ සියල්ල සිදුවෙද්දී පොහොට්ටුවේ ඉහළ පෙළේ නායකයෝද විශේෂ තීන්දුවකට එළැඹියහ.

මෙතෙක් කල් මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ කිසිදු තනතුරක් නොදැරූ බැවින් ඔහුට පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ) නායකත්වය නිල වශයෙන් පැවරීම ඒ තීන්දුවයි.

ලබන නොවැම්බර් මස 02දා පැවැත්වෙන පොහොට්ටුවේ වාර්ෂික සමුළුවේදී පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට පැවරෙනු ඇතැයි කියැවේ. ඒ බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!