Breaking News
Home / දේශීය පුවත් / රවී මුදල් ඇමතිකම ඉල්ලලා. සජිත් බිරිද යවා අරලියග මැදුරේ ඔත්තු බලලා. සිරස කිලි මව්බිම ටිරාන් දෙන්නට උදව් කරලා. රනිල් සියල්ල භාරදීලා යන්න හදද්දී චම්පික හරස්වෙලා

රවී මුදල් ඇමතිකම ඉල්ලලා. සජිත් බිරිද යවා අරලියග මැදුරේ ඔත්තු බලලා. සිරස කිලි මව්බිම ටිරාන් දෙන්නට උදව් කරලා. රනිල් සියල්ල භාරදීලා යන්න හදද්දී චම්පික හරස්වෙලා

බී.එම්. චන්ද්‍රකීර්ති ඔක්තෝබර් 26 සිට නොවැම්බර් 14 දක්වා සිදුවූ රටේ දේශපාලන අර්බුධය හා මහින්ද සිරිසේන රනිල් කතානායක පාර්ශවයන්ගේ තිරය පසුපස සැගවුන කතාව මෙසේ හෙළි කරයි.

පසුගිය ඔක්තෝබර් 26 වන දා හවස් යාමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන මොහොතේ යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ එජාපයේ ප්‍රධාන පෙලේ නායකයින් කිසිවෙකු හෝ ඒ පිළිබඳව දැන සිටියේ නැත.

මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ඔවුන්ගේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ ලක්ෂ්මන් පෙරේරා පමණක් මෙම සිද්ධිය පිළිබඳව දැන සිටි අතර, එවැන්නක් සිදුවීමට යන බව පමණක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිට්ටු දේශපාලන සගයින් හා රාජපක්ෂ කඳවුරේ කීපදෙනෙක් සාමාන්‍යයෙන් දැන සිටියෝය.

ඔවුන් පසුගිය මාස කිහිපය තුළම මහින්ද – මෛත්‍රී එකමුතුවක් පිළිබඳව මතවාදය සකස් කළේ සහ ඒ සඳහා අවශ්‍ය දේශප්‍රේමී සටන් පාඨ නිර්මාණය කළේ ද ඒ නිසාය.

මහින්දගේ ක්ෂණික අවශ්‍යතාවය වූයේ එළැඹෙන නඩු හබ වලින් ගෝඨාභය හා ගාමිණී සෙනරත් බේරා ගැනීමය. මෛත්‍රීගේ ඉලක්කය වූයේ 2019 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණයක් කැඳවා ජනාධිපති ධුරය නැවත තමන් හට දිනාගැනීමටය.

මහින්ද දිවුරුම් දීමත් සමගම රනිල් වික්‍රමසිංහ 1994දී සහ 2003 දී කළාක් මෙන්, කොට්ට පැදුරු හකුලාගෙන ගෙදර යනු ඇති බවත්, බැසිල් රාජපක්ෂ විසින් එජාපයේ රනිල් විරෝධි පිරිස් හා මුස්ලිම් පක්ෂ වහාම තම වසඟයට ගැනීමට කටයුතු කරනු ඇති බවටත්, තදබල විශ්වාසයක් මහින්දට හා මෛත්‍රීට විය. මේ විශ්වාසය ස්ථිර වීමට තවත් හේතුවක් වූයේ රවී කරුණානායකගේ ක්‍රියාකලාපයයි.

එජාපයේ මන්ත්‍රීන් 12 දෙනෙක් සමග තමා පැමිණෙන බවත්, තමාට මුදල් අමාත්‍යාංශය හෝ එයට සමාන බලතල සහිත අමාත්‍යාංශයක් ලබා දෙන ලෙස රවී කරුණානායක ජනාධිපතිවරයාටත්, බැසිල්ටත් පවසා තිබේ. බැසිල්ගේ හා රවී කරුණානායකගේ සම්බන්ධය දශක ගණනාවක් දුර යන එකකි. රවී කරුණානායකට ගැලියන් අරමුදලෙන් ඩොලර් මිලියන් 3ක් ගෙන ඒම පිළිබඳව චෝදනා ගොණු වූ විට (2007) අජිත් නිවාඞ් කබ්‍රාල්ගේ විරෝධය මැද ඊට අදාල නඩුව යට ගැසුවේ බැසිල් ය.

පෙරලා රවී කරුණානායකට අයත් ඩාලි පාරේ පිහිටි අබලන් ගොඩනැගිල්ලක් සමෘද්ධියේ රුපියල් මිලියන 660කින් අලුත් වැඩියා කොට බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාලය බවට පත් කළේ ද ඒ සබඳතාවය නිසා ය.

සජිත් සහ බිරිඳ – එමෙන්ම රිෂාර්ඞ් බදියුදීන් තමන් සමග එක්වනු ඇති බවට බැසිල් රාජපක්ෂට තදබල විශ්වාසයක් තිබූ අතර, රිෂාර්ඞ් පැමිණි පසුව රාවුෆ් හකීම්ගේ පැමිණීම ද සිදුවනු ඇති බවට ඔවුන් විශ්වාස කළහ.

ශ්‍රී ලංකා දේශපාලනයේ සිටිනා ඉහළම ගේම්කරු ලෙස කාගේත් කතාබහට ලක්ව සිටි බැසිල්ට මෙය ඉතා සුළු ගේමක් වනු ඇතැයි රාජපක්ෂවරු හා සිරිසේනලා (මෛත්‍රී හා ඩඞ්ලි) කල්පනා කළහ. එමෙන්ම මෛත්‍රීපාල සතුව තවත් තුරුම්පුවක් විය. ඒ නම් සජිත් ප්‍රේමදාසයි. නිතර නිතර පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහවලට සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස හා සජිත්ගේ බිරිය පැමිණුන බව දන්නේ අතලොස්සකි.

සජිත් පිටුපස සිටි බලවේගය වූයේ මෛත්‍රීපාලගේ ප්‍රචාරණ යන්ත්‍රය වූ කිලී මහරාජාගේ සිරසත්, ටිරාන් අලස්ගේ මව්බිමත් ය. ටිරාන් අලස් හරහා සජිත් – මංගල සන්ධානයක් ද යූඇන්පීය තුළ ගොඩනැගී තිබුණි. මංගල ගම්පෙරළිය වැඩපිළිවෙලේ වීරයා කරන ලද්දේ සජිත්වය.

එමෙන්ම පසුගිය හයමාසයක පමණ කාලය තුළ සජිත්ට ගම් උදාව වැඩපිළිවෙල යටතේ සිය ප්‍රතිරූපය නංවාගන්නට කිසිඳු විගණන පරීක්ෂණයකින් තොරව සෙවණ අරමුදලින් රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක් නාස්ති කිරීමට ද ජනාධිපති හා මුදල් ඇමති මංගල ඉඩ දුන්නේය. ජනාධිපතිගේ පිබිදෙමු පොළොන්නරුව වැඩපිළිවෙලේ විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ ද සජිත්ය.

මෛත්‍රීපාල සිරිසේන සිය පියා මෙන් ම දුක් විඳින මිනිසුන්ගේ නායකයෙක් යැයි සජිත් පුණ පුණා ප්‍රකාශ කළ අතර, සජිත් පසුගිය සති කිහිපය තුළ මෛත්‍රීපාලට එරෙහිව පැමිණි යූඇන්පී විරෝධතාවයන්ට ද පිළිතුරු සැපයීමට ඉදිරිපත් විය.

සජිත්-මෛත්‍රී දෙදෙනා අතර තිබූ එකඟතාවයෙන්, හදිසි තත්ත්වයකදී යූඇන්පීයෙන් රනිල් නොවන කෙනෙක් අගමැති පදවියට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉදිරිපත් කළ හැකි පුද්ගලයා ලෙස මෛත්‍රී සජිත් ගොඩනගා ගෙන තිබිනි.

රනිල් නෙරපාහරින ලද රාත්‍රියේ ඔහු සිටියේ සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන ගාල්ල ප්‍රදේශයේ සති අන්තය ගත කිරීමේ බලාපොරොත්තුවෙනි. වජිර අබේවර්ධන හා සාගල රත්නායක ඔහු සමග විය.

තරුණ පසුපෙළ – සිද්ධිය වාර්තාවූ වහාම රනිල් ආපසු අරලියගහ මන්දිරය වෙත පැමිණියේය. ඒ රාත්‍රී අටට පමණය. ඒ වන විටත්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ඉහළ ගණයේ ක්‍රියාකාරීන් ද අරලියගහ මන්දිරය වෙතට පැමිණෙමින් තිබින.

සුවිශේෂී ම සිද්ධිය වූයේ 26 වන දා රාත්‍රියේ අරලියගහ මන්දිරයට එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හෝ උපනායක රවී කරුණානායක නොපැමිණීමය. සජිත් තමන් හම්බන්තොට සිටින බව දුරකථන ඇමතුම්වලට අඟවමින් රාත්‍රියේ මෛත්‍රීපාල සිරිසේන හමුවිය.

රවී කරුණානායක මාරුවෙන් මාරුවට බැසිල් හා මෛත්‍රීපාල හමුවෙමින් මුදල් ඇමතිකම හෝ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හෝ මෙගාපොලිස් ඇමතිකම හෝ ඉල්ලා සිටිමින් කෙඳිරිගාන්නට විය. එදා රාත්‍රියේ රනිල් සමග සිටියේ එජාපයේ මන්ත්‍රී පිරිස වන හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර, මුජුබර් රහුමාන්, රුවන් විජයවර්ධන, අකිල විරාජ්, වැනි අය හා මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක වැනි එජාපයට අයත් නොවන එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පමණි.

අරලියගහ මන්දිරය අත් නොහැර ආධාරකරුවන් එහි ගෙන්වාගත යුතු බවත්, විමල් වීරවංශගේ අභියෝගයට (27 දා උදේ 8ට අරලියගහ මන්දිරය අල්ලා ගැනීම) මුහුණ දිය යුතු බවත්, අන්තර්ජාතිකව තානාපති කාර්යාල දැනුවත් කළ යුතු බවත්, නීතිමය ක්‍රියාමාර්ග සොයාබැලිය යුතු බවත්, මහජනයා අතරට අරගලය ගෙනයා යුතු බවටත් තීරණය විය.

අගමැති රනිල්ට සහය පල කරන්නට දිව්රුම් ප්‍රකාශයක් පිළියෙල කරන ලද අතර, එජාපයේ දුර්වලතාවය ‌‌කොතෙක්ද යත් එය පිලියෙල කිරීමට ලබා දුන්නේ විජේදාස රාජපක්ෂටය. විජේදාස රාජපක්ෂ එදා රාත්‍රියේ අරලියගහ මන්දිරයට ගිය අතර ඊට පසු දින සිට ලෙඩ නිවාඩු දමා සිය නිවසට වී වජිර අබේවර්ධන සමග ගනුදෙනු කරමින් සිටියේය. ඔහුගේ දිව්රුම් ප්‍රකාශයට අත්සන ගත්තේ නිවසට ගොස්, දයා ගමගේ යුවල විසිනි. එයට අත්සන් කළ පසු දිනම විජයදාස ඇමතිවරයෙකු ලෙස දිව්රුම් දුන්නේය.

27 වනදා උදෑසන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ධූරයෙන් ඉවත් කර තිබුණි. ඒ වෙනුවට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පලපුරුදු පරිපාලන නිලධාරියෙකු වූ අමරසේකර පත් කර තිබුණි. මේ හා සමගම රනිල් තීරණය කළේ අමරසේකරට අරලියගහ මන්දිරයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ යතුරු භාර දී සිය නිවසට යාමටය.

නමුත් ඔහු එයින් වළක්වනු ලැබුවේ චම්පික රණවක, රාජිත සේනාරත්න හා අජිත් පී පෙරේරා ප්‍රමුඛ තරුණ මන්ත්‍රී කණ්ඩායම විසිනි. එවලේම එතැන රැස්ව සිටි දහස් ගණනක් වූ ජනයා ඇමතූ චම්පික රණවක හා අජිත් පෙරේරා, කිසිවෙක් සටන ජයජයග්‍රහණය කරන තෙක් අරලියගහ මන්දිරයෙන් පිටව නොයා යුතු බවට තරයේ ප්‍රකාශ කළේය.

ඉන් පසු විවිධ අනු කමිටු තනමින්, අරලියගහ මන්දිරය රැක ගැනීමට රාජිත සේනාරත්නගේ හා චම්පික රණවකගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරුණු අතර, මහජන උද්ඝෝෂණයක් අරලියගහ මන්දිරය අසලට කැඳවීම සඳහා රාජිත සේනාරත්න, චම්පික රණවක හා අකිල විරාජ්ගේ නායකත්වයෙන් තවත් කමිටුවක් පත් කෙරුණි.

අරලියගහ මන්දිරයට යටිතල පහසුකම් සැපයීම සාගල රත්නායකට පැවරුණු අතර, ජාත්‍යන්තර දැනුවත් කිරීම් මංගල සමරවීරට පැවරිණි. නමුත් නියම ලෙසින් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කෙරුනේ කථානායක කරූ ජයසූරියගේ මූලිකත්වයෙනි. මේ වන විටත්, එජාපයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, අර්ජුන රණතුංග ඇතුළු විශාල පිරිසක් සිටියේ විදේශ ගතව ය.

දුලාංජලීගේ ඔත්තු සැපයීම – 27 වන දා අරලියගහ මන්දිරයට පැමිණි සජිත් ප්‍රේමදාස හා දුලංජලී ප්‍රේමදාස අරලියගහ මන්දිරය වටේ වටයක් කැරකැවී ‘හෙයාකට් එකක් දාන්න තියෙනවා’ යැයි ලක්ෂ්මන් කිරිඇල්ලට පවසා අරලියගහ මන්දිරයෙන් මාරු වී ගියේ ය. දුලංජලී එහි නතර විය.

එතැන් සිට දින දෙකක් පමණ දුලංජලී ජයකොඩි, අරලියගහ මන්දිරයේ සියළුම විශේෂ රැස්වීම්වලට සහභාගී වූ අතර, බොහොමයක් රැස්වීම් සිය ජංගම දුරකථනයෙක් පටිගත කොට රොස්මිඞ් පෙදෙසේ පිහිටි ටිරාන් අලස්ගේ කාර්යාලයට යැවීමට සැලැස්වූවා ය. මෙය එළිදරව් වීමෙන් පසු ඇයට අතුරුදහන් වීමට සිදුවිය.

ඔක්තෝම්බර් 26-29 අතර ඇමතිවරු පිරිසක් දිවුරුම් දීම සමග විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය මහින්දට නතුවූ විට තමන්ට තවදුරටත් ඇමති බලගතු ඇමති ධුරයක් නොලැබෙන බව රවී කරුණානායකට පැහැදිලි විය. විශේෂයෙන් ම දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් රවී කරුණනායකට ඇමතිකම් දීමට තරයේ විරුද්ධ වීම නිසා රවී කරුණානායක ආපසු අරලියගහ මන්දිරයට පැමිණියේය.

ඔක්තෝම්බර් 30 කොල්ලුපිටියේ පැවති එජාප උද්ඝෝෂණයට උතුරු කොළමින් එකඳු මිනිසෙක් හෝ සහභාගී නොකරවීමට රවී කරුණානායක වග බලාගත් අතර, උතුරු කොළඹින් හා මැද කොළමින් උද්ඝෝෂණයට අවශ්‍ය සෙනග ගෙන ආවේ මුජුබර් රහුමාන්, මනෝ ගනේෂන් හා නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ විසිනි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද එක් පුද්ගලයෙක් හෝ උද්ඝෝෂණයට සහභාගී නොකරවීමට සජිත් ප්‍රේමදාස වගබලාගත් අතර, ඔහු මෙම කාලය පුරාවටම අරලියගහ මන්දිරයට වඩා කාලය ගත කළේ ටිරාන් අලස්ගේ රොස්මිඞ් පෙදෙසේ කාර්යාලයේ, කිලී මහරාජාගේ බේබෲක් කාර්යාලයේ හා පැජට් පාරේ ජනාධිපතිවරයාගේ නිල නිවසේය.

උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම සංවිධානය වූවායින් පසු හරියටම දහවල් 2.00ට සජිත් හා රවී කරුණානායක අරලියගහ මන්දිරයට පැමිණ උද්ඝෝෂණයට ගොස් අත් ඔසවා යූඇන්පී කාරයින්ව චූන් කර රැවටීමට කටයුතු කළෝය. ඒ අවස්ථාවේ සජිත් ප්‍රේමදාසට නැඟුණු ඝෝෂාව පිළිබඳ අකිල විරාජ්ගෙන් හා සාගල රත්නායකගෙන් දැනගත් රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක කැඳවා අනාගත ආණ්ඩුවක ඔහුට නැවතත් මුදල් ඇමතිකම ලැබෙන බව ප්‍රකාශ කළේය. ඒ හා සමගම ඉදිරිපෙල ක්‍රියාකාරීත්වයක් පෙන්වූ මංගල සමරවීර පසුපෙලට තල්ලු විය. රවී කරුණානායක පාවා දීමේ පොළියත් සමග ගෙවීමට ඉදිරි පෙලටම ආවේ ය.

පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත්, ජනමාධ්‍ය තුළත්, කිසිඳු සංවිධානාත්මක භාවයක් නොතිබූ යූඇන්පීය රාජපක්ෂ කඳවුරේ මැර ප්‍රහාරවලට ලක් වෙමින්, මෛත්‍රීපාලගේ රාජ්‍ය යන්ත්‍රයේ ගල් රෝලට හසු වෙමින්, බලගතු ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට එජාපයේ තරුණ මන්ත්‍රීවරු හා එජාපයේ නොවන නායකයින් සමත් විය. විශේෂයෙන්ම රවුෆ් හකීම් හා රිෂාර්ඞ් බදියුදීන් නවත්වාගත්තේ මුස්ලිම් ආගමික හා දේශපාලනික සංවිධානයක් වන ශූරා කවුන්සිලයේ මැදිහත්වීමෙනි. ඔවුන් මක්කම බලා ගියේ ද ඔවුන්ගේ එම මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

කතානායක ‌ගේම අතට ගත්තේය – අරගලය නැග එත්ම මහින්ද රාජපක්ෂ බියට පත් විය. තමන්ට බහුතරය හදාගන්නට නොහැකි බව ඔහු අවබෝධ කරගත්තේය. රනිල් සමග ඩීල් එක දැමීමට ගෝඨාභයට පැවරුවේය.

මුලින්ම සිදුවූවේ ඉෂිනි වික්‍රමසිංහ හරහා දිලිත් ජයවීර (දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු) රනිල් වික්‍රමසිංහ හමුවීමය. ගෝඨාභයගේ ආගමනය ඉන් පසුව සිදුවිය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ අරලියග මන්දිරයේ දිගටම රැඳී සිටීමටත්, මහින්ද අගමැති පදවියේ දිගටම පවත්වා ගැනීමටත් එකඟතාවයක් ඇති වූ අතර, නොවැම්බර් 13 වනදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම එකඟතාවයන් ගැන රනිල් වික්‍රමසිංහගේ කටින් ම පිටවිය. එය ඇසූ ඇතැම්හු තුෂ්නිම්භූත වූ අතර, තවත් සමහරු මුව අයා සිනාසුනහ.

කෙසේ වෙතත්, කථානායකවරයා මෙම ඩීල් කිසිවකට සම්බන්ධ නොවී, අන්තර්ජාතික ප්‍රජාව සමගත්, ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, රාජිත සේනාරත්න හා රාවුෆ් හකීම්, රිෂාර්ඞ් බදියුදීන් හා මනෝ ගනේෂන් ආදී නායකයින් සමගත්, අනෙක් පසින් දෙමළ සන්ධානයේ සුමන්දිරන් හා ජවිපෙ අනුර දිසානායක සමගත් සාර්ථකව කටයුතු කරමින් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂ පරාජය කිරීමේ මෙහෙයුමේ මාර්ග සිතියම සකස් කරනා ලදී.

එමෙන්ම සියළුම රාජ්‍යතාන්ත්‍රික පිරිස් පාර්ලිමේන්තුවටත්, තම නිවසටත් කැඳවාගනිමින් ඔහු රාජපක්ෂ පාලනය අන්තර්ජාතිකව හුදකලා කිරීමේ මෙහෙයුම ද දියත් කළේය. එයට ඇඟිලි ගැසීමට විටින් විට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ විට ඉතා විවෘතව ඔහුව නිහඬ කළේය. පියවරෙන් පියවර කථානායකවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂව ව්‍යවස්ථාදායකය තුළ කොටුකරලීමට සමත් විය.

අවසානයේ ඔහු නිර්භයව නොවැම්බර් 02 දා පාර්ලිමේන්තුව කැඳවූ අතර, මන්ත්‍රීන් 117ක ගේ විරෝධය නිල නොවන ලෙස රාජපක්ෂ පාලනයට එරෙහිව ගොඩනැගීමට කටයුතු කළේය. ඒ හා සමගම කලබල වූ මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට නීති උපදේශකයින් වන ‘සිල්වා ට්‍රිබල’ නමින් හඳුන්වන සරත් සිල්වා, මනෝහර ද සිල්වා හා යූආර් සිල්වා පාර්ලිමේන්තුව නීති විරෝධිව කල් දැමීමටත්, අවසානයේ පාර්ලිමේන්තුව විසිරුවාලීමටත් අවශ්‍ය නීති තුරුම්පු ලබා දුන්නේය.

එමෙන්ම කරූ ජයසූරියගේ රාජතාන්ත්‍රික මෙහෙයුමේ ප්‍රතිඵලයක් වූ අමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය ගෝඨාභය රාජපක්ෂට හා එක්සත් ජනපදයේ දේපල පවත්වාගෙන යන රාජපක්ෂ කඳවුරේ දේශපාලකයින් ට අනතුරු හැඟවූයේ ඔවුන්ගේ විදේශගත දේපල හා ගිණුම් තහනම් කිරීමට තමන් කටයුතු කරන බවයි.

(එක්සත් ජනපදය රුසියාවේ පුටින් ජනාධිපතිවරයාගේ හිතවතුනටද මෙය සිදු කළේය) ගෝඨාභයගේ දේශප්‍රේමී සටන් පාඨ එතැනින් ම නතරවූ අතර, ඇවන්ට්ගාර්ඞ් කාර්යාලයේ පවත්වාගෙන ගිය ‘වියත්මග’ හා ‘එළිය’ සංවිධානයන් වල රැස්වීම්වලට පැමිණීම පවා නතර කළේය. (දේශප්‍රේමයක මහත) ඒ අතර, බැසිල් රාජපක්ෂ ක්‍රමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර පොහොට්ටුව වර්ධනය කිරීමේ මෙහෙයුම ද දියත් කළේ ය. අවශ්‍ය මොහොතක එජාපයේ ද සහය දෙන මෛත්‍රීපාල සිරිසේනට දෝශාභියෝගයක් ගැනීමේ සැලසුම ද මේ අතර විය.

හූ හඬ මැදින් මහින්ද හා නාමල් පලා ගියේය – පාර්ලිමේන්තුව විසිරුවීමෙන් පසු අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑම තීව්ර විය. එහි රස්නය විදේශ රටවල දරුවන් ඉගනගන්නා විනිසුරන්ට ද, නීතිඥයින්ට ද දැනෙන්ට පටන් ගැනින. පොදුවේ ‘සිල්වා ට්‍රිබල’ හැරෙන්නට නීතිඥ සංහතියම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියහ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද බැසිල්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනා අයෙකි. එජාපයේ නියෝජිතයින් ඔහු හමුවූ විට ඔහු කීවේ ඔහුගේ හදවතේ තවමත් නිම්නාද වන්නේ පරණ කොමියුනිස්ට්වාදයේ හැඟීම් බවයි. නමුත් පාර්ලිමේන්තුව විසිරුවීමේ හා මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිර්මාණය කිරීමේදී මැදිහත් වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වඩා මහින්ද දේශප්‍රිය ය.

කෙසේ හෝ සිව්ල් සංවිධානයන්ගේ හා කථානායකගේ බලපෑම නිසා මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා රාජන් හුල් හා අනිල් අබේසේකර මහින්ද දේශප්‍රියව කොටු කළ අතර, මැතිවරණයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයට මැතිවරණ දෙපාර්තමේන්තුව පත් කළේය. රාජන් හූල් ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගියේ ය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ගේ තීරණයට තදින් බලපෑවේය.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය පෙත්සම් විභාගය ඇරඹුවේ 12 වැනි දා ය. බොහෝ විට තීන්දුව බ්‍රහස්පතින්දා (15) ලැබීමට ඉඩ ඇති බව එජාප නායකයින්ගේ තක්සේරුව විය. මේ අතර, බලගතු නීති උප්පරවැට්ටියක් එජාප නායකයින්ට පිටස්තර පුද්ගලයින් විසින් පෙන්වා දෙන ලැබී ය. එයින් කියවුනේ 13 වැනිදා අතුරු තහනම් නියෝගය ලැබුනහොත් 14 වැනිදා ජනාධිපතිගේ පාර්ලිමේන්තුව රැස් කිරීමේ නියෝගය බලාත්මක වන වගයි.

ඒ අනුව පාර්ලිමේන්තු මාර්ග සිතියම නැවත සකස් කෙරුණි. 13 තීන්දුව තම වාසියට ලැබුණහොත් 14 වැනිදා පාර්ලිමේන්තුවට යාමටත්, ස්ථාවර නියෝග අත්හිටුවා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ගැන විශ්වාස භංග කිරීමේ යෝජනාවක් ගෙන ඒමටත් තීරණය කෙරිණි. 13 වැනිදා පාර්ලිමේන්තුව විසිරුවාලීම හා මහමැතිවරණයක් ලබාගැනීම ගැන උන්මාදනීය සතුටකින් සිටි බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට, අගවිනිසුරු නලීන් පෙරේරා ඇතුළු විනිසුරුවරු තිදෙනාගේ තීන්දුව මාරක පහරක් විය.

පාර්ලිමේන්තුව දෙසැම්බර් 07 වන දා දක්වා ජීවමාන වූ අතර, පාර්ලිමේන්තුව නැවත වාර අවසාන කිරීමට එක් දිනක් හෝ පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන බවට නීති විශාරදයින් උපදෙස් ලබා දුනි. මේ අතර ජනාධිපතිවරයාට ද ජාත්‍යන්තරව කොටුවීමේ අභියෝගය පුද්ගලිකව දැනෙමින් තිබුණි. තමන්ට එරෙහිව දෝශාභියෝගයක් මහින්ද හා රනිල් එක්ව කෙටුම්පත් කරනා බවද ඉව වැටුණි. ශ්‍රිලනිපය දිය කොට පොහොට්ටුව ශක්තිමත් කිරීමේ බැසිල්ගේ ව්‍යාපාරයත් සමග නැවත වරක් ශ්‍රීලනිපයෙන් ජනාධිපති වීමේ මෛත්‍රීගේ සිහිනය බොඳවී ගියේය.

ඒ නිසා 13 දා රාත්‍රියේ නැවත වාරාවසාන කිරීමට ජනාධිපතිට බලපෑම් කළ අයගේ බලපෑමට යට නොවී සිටීමට ජනාධිපතිට හැකිවිය. පාර්ලිමේන්තුව 14 දා රැස්වූ විට මහින්ද රාජපක්ෂගේ සියළු බලාපොරොත්තු රැඳී තිබුනේ දිනේෂ් ගුණවර්ධන වෙතටයි. දිනේෂ් ගුණවර්ධනගේ පෞද්ගලික ජීවිතයේ රහසක් ද, ඔහු 2005-2010 නාගරික සංවර්ධන ඇමතිවරයාව සිටි කාලයේ ගුඞ් හෝප් රෙසිඩන්සීස් නම් ව්‍යාපෘතියකින් ලබාගත් මිලියන 15ක අල්ලසක් සම්බන්ධයෙන් ලිපිගොණුවක් අතැතිව සිටි මහින්ද රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන ලවා පාර්ලිමේන්තුව කඩාකප්පල් කරවීමට බලාපොරොත්තු රඳවාගෙන සිටියේ ය.

එහෙත් කථානායක කරූ ජයසූරිය සිංහයෙකු මෙන් සභාව මෙහෙයවූ අතර, එජාපයේ, ඩීල්වලට යට නොවන තරුණ මන්ත්‍රීවරු සිංහ රැලක් සේ කටයුතු කළහ. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද රාජපක්ෂ අනුර දිසානායක විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන් ඡන්ද 122ට 0ක් ලෙස පරාජයට පත් ව හූ හඬ මැදින් මහින්ද හා නාමල් සභා ගර්භයෙන් පලා යෑමය.

එහෙත් බල ලෝභියෙකු වන මහින්ද රාජපක්ෂ තමනට බෝනස් එකක් ලෙස ලැබුණු අගමැති ධුරය අතහැරීමට සූදානම් නැත. විශේෂ බලකාය අමාත්‍යාංශවලට යවා, පාර්ලිමේන්තුවේ තවදුරටත් අගමැතිවී සිටීමට ඔහු 14 දා සවස තීරණය කළේය.

14 දා ලියන ලද්දකි – බී.එම්. චන්ද්‍රකීර්ති

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!