Breaking News
Home / දේශීය පුවත් / “මන්ත්‍රීද ඇමතිද මට වැඩක් නෑ පුතේ. මට වටින්නේ මගේ චන්ඩි පුතා” චන්ඩි මල්ලි ගැන කියන ගමේ අම්මා

“මන්ත්‍රීද ඇමතිද මට වැඩක් නෑ පුතේ. මට වටින්නේ මගේ චන්ඩි පුතා” චන්ඩි මල්ලි ගැන කියන ගමේ අම්මා

“ඇමතිතුමා” කියා අපි හඬ නැගුවද කිසිවෙකු නොවීය. අප වැරදි නිවසකට ආවා ද කියා සිතුණි. මුරකාවල්වලින් යාමට ඇති අන් මන්ත්‍රී නිවාස අතරේ පාලිත තෙවරප්පෙරුමගේ නිවස හාත්පසින්ම වෙනස් ය. හුරතලේට ඇතිකරන දඩෝරියෙකු හෝ කටක් ඇර උජාරුව පා තම බලපුළුවන්කාරකම් නොපෙන්වයි. සිතුවිල්ලේ සිටින අතර පැමිණි කාන්තාවක් අපව විමසා ගේ තුළට ගියාය. සුළු මොහොතක් අපට රැඳී සිටින්නට වූයේ පාලිත තෙවරප්පෙරුමගේ මව අසනීප වී ඇති නිසාය. නමුත් ධෛර්වන්තකම නිසාම අප සමඟ කතා කිරීමට කැමැත්තෙන්ම ඇය පැමිණියාය.

“යමු පුතේ අපි අතන ඉඳගෙන කතා කරමු. මගේ ඡායාරූපත් ගන්නවාද?” ඇය අසන්නට විය.
“ඔව් අම්මේ. ඔයාගේ ලස්සන පින්තූර ටිකක් ඕනි.” ඇය මඳ සිනහවක් පා අප සමඟ කතාබහට හරිබරි ගැසුණි.

මම ඇගේ ගම් පළාතෙන්ම පටන්ගත්තෙමි.

“අම්මා කළුතර ද?”
“නෑ පුතේ මම නුවර. නම සෝමාවතී මැණිකේ.”

“අම්මා නුවර, සැමියා කළුතර. ඒ තරම් දුරවල් දෙකක තිබුණු හදවත් දෙකක් එකතු වුණේ කොහොමද?”

මට අවශ්‍ය වූයේ ඇගේ ආදරණීය අතීතයට ඇයව ගෙන යාමටය.

“අපේ අම්මගෙ මල්ලී කොම්පඤ්ඤවීදියේ පොලීසියේ වැඩ කළේ. මම නිවාඩුවට ඒ ගෙදර එනවා. ඉතින් එහෙම ආවම එයා හමුවෙනවා. පස්සේ අපි කසාද බඳිනවා.”

ඇගේ ආදර කතාව භෞතික හා බාහිර දේ අතරින් ආ ආදර අන්දරයක් නොවන බව මට සිතෙන්න වූයේ පාලිත තෙවරප්පෙරුමගේ පියා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරකු නිසාය. ඒ හදවත්වලට ආදරය කළ කාලයකි.

“අම්මේ කොහොමද ඇමතිතුමාගේ පොඩි කාලේ විස්තර?”

“හරිම දඟයි පුතේ. හැබැයි ගෙදරට කීකරුයි. පොඩි කාලේ පවා ගෙදරට හොරෙන්ම යනවා මිනිස්සුන්ට උදව් කරන්න. එයා ඒක එදා ඉඳලම කරපු දෙයක්. දවසක් ගෙදර එක්කං ආවේ ගෝනියකට තියාගෙන දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන්. වහලයක් ගහන්න පුවක් ගහක් කපනකොට පුවක් පතුරක් කකුලේ වැදිලා. ඉතින් එහෙම උදව් කරපු කෙනෙක් එයා. ඒ වැඩේ වෙනකොටත් අවුරුදු 12යි මෙයාට.” පාලිත තෙවරප්පෙරුම පසුගිය ස්වාභාවික විපත්වලදීත් තම ජනතාවගේ සුව දුක් බැලීමට කිසිඳු විටක පැකිළුණේ නැත. ඒ නිහතමානිකම පැසසුම් ලැබිය යුතුය. නමුත් බොහෝ පිරිස් කීවේ මාධ්‍ය සංදර්ශන කියාය. නමුත් එහි සත්‍යතාවය අම්මා විසින් දැන් හෙළිකර ඇත.

“ඇමතිතුමා මිනිස්සුන්ට උදව් කරන විට තමන්ගේ ජීවිත අවධානම ගැනවත් නොහිතපු තැන් තියෙනවා. එහෙම අවස්ථාවල අම්මා එපා කියලා නැතිද?”
“මම කොහොමද පුතේ මිනිස්සුන්ට උදව් කරන්න එපා කියන්නේ? අපි හැමදාම කියලා දුන්නේ දුප්පත්කමට අගෞරව කරන්න එපා කියලා. ඉතින් චණ්ඩි පුතා ඕක කරනවා.”

ඇත්තටම අහන්න හිටියේ අම්මේ. ඔය චණ්ඩි මල්ලි කියන නම ආවේ ඔය දඩබ්බරකම නිසාම ද?”
ඇය සිනාසේ… ඒ සිනාව තුළ ඇත්තේ අපට යම් අතපසු වීමක සේයාවකි. මා හටද එය වැටහුණේ අම්මාගේ ඉතිරි කතාව ඇසීමත් සමගිනි.

“ඔය නම කිව්වේ පාලිතගේ තාත්තා. දවසක් මම මෙයාට මාස තුනේදී විතර කිරි දෙනකොට, මම වෙනකාත් එක්ක හරි වෙන කතාවක හිටියේ. ඉතින් මෙයා ගැන අවධානය අඩුයි කියලා මෙයාට තේරුණාම, මගේ තන පුඩුව හයියෙන් හපාගෙන හිටියා. ඉතින් මම ඕක පාලිතගේ තාත්තාට කිව්වා. එයා ළඟට ඇවිත් මෙයා හරි චණ්ඩියෙක් ද කියලා පොඩි තට්ටුවක් මුහුණට දැම්මා. ඉතින් එදා ඉඳලා තමයි ඔය නම මම එයාට කිව්වේ. චණ්ඩි මල්ලි කියලා.”

ඇත්තටම දේශපාලනය කරන නිසා චණ්ඩි බිහි නොවන බවට මෙය කදිම උදාහරණයකි. දේශපාලනය නිසාම චණ්ඩි මල්ලි නොවුණ පාලිත තෙවරප්පෙරුම ගැන තවත් දැනගත යුතු දේ අම්මාගේ අසා දැනගැනීමට මට අවශ්‍ය විය.

“අම්මේ ඇත්තටම චණ්ඩි ඇමතිතුමා පොඩි කාලේ ඉඳලම කළේ චණ්ඩිකම්ද?”
“ළමයිගේ තාත්තා නීතියක් දාලා තිබුණේ හවස 5 වෙනකොට ගෙදර ඉන්න ඕන කියලා. ඉතින් මෙයාලා ඒ විදිහට කළා. කඩපිල් ගාණේ රස්තියාදුවේ යන්න දුන්නේ නැහැ.

ඒ විතරක් නෙවේ පුතේ, මෙයා මහණ කරන්න කියලා මාස 3ක් පන්සලේ ඇබිත්තියා විදිහට තියාගෙන හිටියා. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ මෙයාගේ වේලපත්කඩේ එහෙම බලලා පන්සලේ ගිහින් තියාගෙන හිටියා ඉතින්. මෙයා හිටියේ මාස 3යි. ගෙදර ආවා.”

“අම්මාට අද පුතා ඉන්න තැන ගැන, ඒ චණ්ඩි පුතාගේ දියුණුව ගැන සතුටක් නැද්ද?”
“මට වැඩක් නැහැ පුතේ මන්ත්‍රී ද, ඇමති ද මට අදාළ නැහැ. හැබැයි ඒ මගේ පුතා. මට මගේ පුතා ගැන මන්ත්‍රී විදිහට කියලා නැහැ. ඒ දේවල්වලට වඩා මගේ දරුවා විදිහට වටිනවා.”අම්මලාට තම දරුවන් ගැන සිතන්න ඇති පැතිකඩ විශාලයි. උණහපුළු පැටියා උගේ අම්මාට මහමෙරක්, ලෝකයේ රජකම් කළත් අම්මාට වටින්නේ තම දරුවා පමණයි.

“මම පුතේ හැමදාම දෙවියන්ට පිං දීලා මාගේ පුතාව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒක තමා මගේ ප්‍රාර්ථනාව. ඒක තමා මගේ සතුට. ඊට එහා දෙයක් නැහැ පුතේ. අම්මා කෙනෙක් බලන්නේ චණ්ඩි වුණත් රජ වුණත් තමන්ගේ පුතා දරුවා කියන විදිහට.”චණ්ඩි ඇමතිතුමාගේ අම්මා හැඟීම්බරය. අඬන්නට මෙන් ඇගේ හඬ බොඳ විය. ඇයට ඇත්තේ පුදුමාකාර දාරක සෙහනෙහයකි. දරුවන් අට දෙනෙක් මෙලොවට ජනිත කළ ඈ ශක්තිමත්ය. මනසිස් උසස්ය. අෑ කතාව නැවතූ තැනින් පටන්ගත්තාය.

“හැබැයි පුතේ හිතකින්වත් හිතුවේ නැහැ මෙහෙම තැනකට එයි කියලා. ඒක එයාගේ කැපවීම, ධෛර්යවන්තකම නිසා ආපු ගමනක්. අනිත් කාරණය තමා පුතේ, චණ්ඩි පුතා නිතරම මිනිස්සු එක්ක ඉන්න එක. ඒ දේ තමා එයා අද ඉන්න තැනට එන්න ලැබුණු වටිනාම ක්‍රමය. ඇය දේශපාලනික ඥානය පිළිබඳ උපාධි නොතිබුණ ද ජනරාශී එකතු කිරීමේ ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කර ඇත. ඇය මහපොළොවේ සිටගෙන තම දරුවන්ට යා යුතු මාර්ගය කියා දුන් මවකි. නිරායාසයෙන්ම අම්මා තුළ ඇති ධෛර්ය, කරුණාව පාලිත තෙවරප්පෙරුම චරිතයට ද ලැබී ඇති බව මට සිතුණි.

අපගේ කතාබහ මැදින් කෙනෙකු දිව ආවේ චණ්ඩි ඇමතිතුමාට පණිවිඩයක් රැගෙනය. ආ පුද්ගලයා කාර්මික වැඩපළක රැකියාව කරන්නෙකු බැව් සිතාගන්නට හැකියාව ලැබුණි. ඇඳුම පුරාම කිළිටි වුවත්, අපි ඉන්නා තැනට ආවේ කිසිම පැකිළීමකින් තොරවය.

“චණ්ඩි ඇමතිතුමා බලන්නකෝ ලයිට් වයර් කඩාගෙන කැඩිලා පාරට වැටිලා” කියාගෙනය. “අද බණ ගෙදර, ඒ අස්සේ වැස්ස. විදුලියත් නැහැ.” දුක කියා පැමිණි එම පුද්ගලයාට ඉන්න කියා, තම ජංගම දුරකතනය රැගෙන අදාළ තැනට ඒ මොහොතේම කතා කොට අවශ්‍ය කටයුතු කරන්නට පාලිත තෙවරප්පෙරුම පසුබට වූයේ නැත. ඒ එකී චණ්ඩි ඇමතිතුමාම ය. ඔහු සරලව මිනිසුන් සමඟ ගනුදෙනු කරන අයෙකු බැව් සියැසින් දුටුවෙමි. මා නැවත අම්මා සමඟ කතාබහට එක්වුණි.“පේනවා නේද පුතේ, එයාට මිනිසුන්ට උදව් කරන්න වෙලාවක් කලාවක් නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කරනවා. ඒක තමා එයාගේ ක්‍රමය.”

“අම්මා චණ්ඩි පුතා දේශපාලනයට එනවට අකමැති වුණේ නැද්ද?”
“මම මොකට අකමැති වෙන්නද? එයා එයාට හිතුණ දේ කරනවා. ඒ දෙයින් වුණත් මිනිසුන්ට හොඳක් වෙනවා නම් මම සතුටු වෙනවා.

මම දවසක් කළුතර පූජාවකට ගිහින් එනකොට තමා මෙයා ඇවිත් කීවේ අම්මේ, මම ඡන්දේ ඉල්ලනවා කියලා. මම ඇහැව්වේ පුතේ අයියත් ඉල්ලනවා නේද කියලා.”

පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විට ඔහුගේ වැඩිමල් සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීම දේශපාලන සමබරතාවය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දෙදෙනා දෙපැත්තක නිසාත්, අම්මාට ඇත්තේ එක් ඡන්ද අවස්ථාවක් නිසාත් අම්මා එසේ අසන්න ඇත.

“ඊට පස්සේ පුතේ, චණ්ඩි පුතා කීවේ අයියට කැමති අය අයියට දෙයි. මට කැමති අය මට දෙයි කියලා.”
“ඉතිං අම්මා ඡන්දේ දුන්නේ කාටද?”

“ඡන්ද දාන්න උඩහා ඉඳලා එනකොට චණ්ඩි පුතා කීවා මඟ රැකලා අම්මේ, අම්මගේ ඡන්දය අයියට දාන්න මට නැතිවට කමක් නැහැ කියලා.
අන්න ඒ විදිහ තමයි එයා හිතන්නේ පුතේ…”

ඇත්තෙන්ම එතුමාට එසේ කියන්නට, සිතන්නට තරම් වටිනා උපේක්ෂාසහගත බව අම්මාගෙන්ම ලැබුණු දෙයක් බව මට ප්‍රත්‍යක්ෂ වුණි.
“අම්මේ දවසක් චණ්ඩි ඇමතිතුමා රක්ෂිත බන්ධනාගාරගත වෙනවා. ඒ මොහොත මතකද? අම්මට දරාගන්න බැරි වෙන්න ඇති?”

“ඔව් පුතේ, ඇත්තටම ඒ මොහොත කිසිඳු අම්මා කෙනෙකුට දරාගන්න අමාරුයි. ඒත් මම කීවේ හිරගෙවල් හදලා තියෙන්නේ මිනිස්සුන්ට, ඒ නිසා දුක් නොවී හිතට ධෛර්ය අරන් ඉන්න කියලා.”ඇත්තෙන්ම මේ අම්මා තුළ ඇත්තේ පුදුමාකාර හිතකි. තම දරුවා බන්ධනාගාරගත කරන විටක ඒ තරම් ධෛර්යවන්ත වූ ආකාරය ඇහැළේපොළ කුමාරිහාමි පරපුරක උදාර සේයාවක් වැනිය.

“ඇමතිතුමා ගෙදර ඉන්නකොට මොකද කරන්නේ අම්මේ?”
“අක්කර 25ක් විතර ඉඩමක වගා කටයුතු කරනවා. උදැල්ල, කැත්ත හොඳට හුරුයි. ඒ විතරක් නොවේ කුකුල්ලු, එළුවෝ හදනවා. එයාගේ අත්ගුණේ හින්දම ඒ සත්තුත් නීරෝගීව බෝ වෙනවා. කරන කරන අත ගහන වැඩේ සාර්ථකයි පුතේ එයාගේ.”

“ඒ කියන්නේ සාර්ථකත්වය තුළ සංවේදී මිනිහෙක් කියලද අම්මේ?”
“ඔව්, අඳේට හරකෙක් හැදුවා. ඒ හරකා ඉතින් සෑහෙන කාලයක් එයා රැක බලාගත්තා. දවසක් අයිතිකාරයෝ ඇවිත් හරකා අරන් ගියා. ඒ අරන් ගියා විතරයි මේ දරුවා පෙරළි පෙරළි ඇඬුවා. කන්නේ නැතිව හිටියා දවස් ගාණක් සාංකාව වගේ. සත්තුන්ට පවා හරිම ආදරෙයි. එයා චණ්ඩි මල්ලි කීවට හරිම සංවේදීයි.” අම්මා එක හුස්මට කියාගෙන යන්නීය.

ආදරණීය චණ්ඩිකම් තුළත් මිනිසුන් ජීවත්වන බවට අදට හොඳම සාක්ෂිය පාලිත තෙවරප්පෙරුමය. එය නිකම්ම ලැබූවක් නොව අම්මා යන යෝධ සෙවණැල්ලත් තිබිය යුතුමය. දයාව, කරුණාව සෙනෙහස කැටිව හුදු මහත් සමාජයටම එක සිතින් ප්‍රේම කරන්නෝ ඉතා විරලය. ඔවුන්ගේ ප්‍රේමය උපදින්නේ අහසින් පා වී අවුත් නොව එවන් දයාර්ද්‍ර හදවතක් හිමි මවගේ උණුසුමට කැටිවය.

උපුටා ගැනීමකි.

About article14_2

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!