Breaking News
Home / ක්‍රිඩා / මං මෙතන ඉන්නවා කියන්නේ ඔයාලට එකම කණ්ඩායමක් බලන්න බැරිවෙයි ඉදිරි වසර දෙකේ ලොකු සංචිතයක් සෙල්ලම් කරයි – හතුරුගේ අමුතු සැලැස්ම

මං මෙතන ඉන්නවා කියන්නේ ඔයාලට එකම කණ්ඩායමක් බලන්න බැරිවෙයි ඉදිරි වසර දෙකේ ලොකු සංචිතයක් සෙල්ලම් කරයි – හතුරුගේ අමුතු සැලැස්ම

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මත පවතින්නේ නැතිව දක්ෂතා පිරි ක්‍රීඩකයන් රැසක් සහිත සංචිතයක අවශ්‍යතාවය ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ අවධාරණය කර ඇති අතර පසුගිය කාලයේ දේශීය පිටියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ටද කණ්ඩායමට පැමිණිය හැකි බවට ඉඟියක් ද ඔහු ලබා දී ඇත.චන්දික පුහුණුකරුට අමතරව තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු කිරීම නිසා මේ තීරණය ක්‍රියාත්මක කිරීමට පහසු වනු ඇත.

“මම මෙතැන ඉන්නකම්, මා හිතන්නේ නෑ ඔබ එකම කණ්ඩායමක් දිගින් දිගටම දකීවි කියලා”“දස්කම් පෙන්වන ක්‍රීඩකයන් නිරන්තරයෙන් කණ්ඩායමේ රැඳී සිටීවි. ඒත් අපි හැම වෙලාවෙම බලන්නේ තරගයක් ජයග්‍රහණය කරා ගෙනගිය හැකි ක්‍රීඩක මිශ්‍රණය මොකක්ද කියන එක ගැනයි. ඒ කියන්නේ ඊළඟ අවුරුදු දෙකේදී අපි ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් 11 දෙනකුගෙන් විතරක් නෙමේ කියන එකයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

“එකිනෙකට වෙනස් රටවල් එක්ක තරග කිරීමේදී වෙනස් වෙනස් ස්ථාන සඳහා යොදා ගැනීමට අපට විශාල ක්‍රීඩක සංචිතයක් ඕනා. ඒත් එක රඳා තියෙන්නේ ඒ ඒ ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ ශක්තිය මතයි…..සෑම ක්‍රීඩකයකුටම සාධාරණ අවස්ථාවක් හිමිවෙනවා විතරක් නෙමේ කණ්ඩායම තේරීමේදී තම තමන්ට හිමිවන තැන කොතැනද කියන එක පිළිබඳවත් සෑම ක්‍රීඩකයකුම වැටහීමක් ලැබෙනවා” යයිද හතුරුසිංහ මහතා තවදුරටත් පැහැදිළි කළේය.

මෙම නව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දියහැකි හොඳම නිදර්ශනය නම් ජීවන් මෙන්ඩිස් යොදාගත් ආකාරයයි. වසර හතරකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට කැඳවන ලද ජීවන් මෙන්ඩිස් සිය පළමු වැනි විස්සයි-20 තරග දෙකේදීම කඩුලු 3 ක් දවාගත්තේය. එයින් දෙකක් පළමු තරගයේ පළමු ඕවරයේදීම විය.

“එයාගේ දස්කම් මොනවාද කියන්න අපි දන්නවා. එයාගේ මෑත කාලීන දේශීය තරගවල දස්කම් එක්ක අපි එයාව කැඳෙව්වා. එයාගේ ජාතියේ ක්‍රීඩකයෙක් අපට ඕනෑ වෙලා තිබුණා” යයි ජීවන් මෙන්ඩිස් සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා පැවසීය.

“ඒත් ඒක ප්‍රතිවාදියා කවුරුන්ද කියන එක මතත්, තරගය පැවැත්වෙන තත්ත්වය වගේම අපට ඒ වෙලාවේ කරන්න ඕන දේ මොකක්ද කියන එක මතත් රඳාපවතිනවා…..එතැන තියෙන වැදගත්ම දේ තමයි කණ්ඩායමත් එක්ක තියෙන නම්‍යශීලීතාව. අපි ඒ ගැන ක්‍රීඩකයන්ට කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒ හැමෝම දන්නවා තම තමන්ගේ කාර්යය මොකක්ද කියන එක. අපි ඉදිරියට යන්න යන්නේ එහෙම තමා” යයිද හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැහැදිළි කළේය.

හතුරුසිංහගේ ගුරුහරුකම් වලින් වඩාත්ම ප්‍රයෝජන ලබාගත් ක්‍රීඩකයකු ඇත්නම් ඒ තිසර පෙරේරාය. තවමත් 28 හැවිරිදි වියේ සිටින තිසර පෙරේරා බොහෝ විට හඳුන්වන ලද්සේ හැකියාවන් රැසක් පොදිබැඳගත් නමුත් ඒ කිසිවකින් නිසි ප්‍රයෝජනයක් නොගන්නා අයකු ලෙසිනි. එහෙත් බංග්ලාදේශයේදී ඔහු තමන්ගේ නියම හැකියාවෙන් බිඳක් ගෙනහැර දැක්වීය.

බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරග පහේදී පිතිකරුවකු වශයෙන් ලකුණු 44.66 ක සාමාන්‍යයක් රඳවාගත් මේ ජවය පිරි වමත්කාරයා ලකුණු 134 ක් ලබාගත්තේ 154 ක ප්‍රවේගයක් (ප්‍රහාරාත්මක වේගයක් හෙවත් පන්දු 100 කදී ලබාගන්න ලකුණු සංඛ්‍යාව) රඳවාගනිමිනි. ඒ අතරවාරයේදී කඩුලු 5 කුත් දවාගත් තිසර පෙරේරා තමන්ගේ හොඳම කොටස විස්සයි-20 තරගාවලියට ඉතිරිකර ගත්තේය.

විස්සයි-20 තරග දෙකේදී නොදැවී 39 ක් සහ ලකුණු 31 ක් ලබාගත් තිසර බංග්ලාදේශ පන්දු යවන්නන්ට සටනක් දීමට තිබූ අන්තිම සැලැස්මත් කීතු කීතු කර ඉරා දැමීය.

“තිසර නැවතත් ජාතික කණ්ඩායමට එක්වෙලා ඉන්නේ තරමක කාලයකට පස්සේ. ඒ නිසා එයාගේ කාර්යභාරය කුමක් විය යුතුද කියලා අපි එයාට කතා කළා. එයාගේ පුහුණු සැලසුම් පවා අපි වෙනස් කළා”

“අපි හැමෝම දන්නවා එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා. ඒත් ඒකෙන් උපරිම ප්‍රයෝජන අරන් නෑ. ඒත් එයා කොයිතරම් දක්‍ෂයෙක්ද කියලා අපිට දැන් පේනවා. මා හිතන්නේ එයාට තවත් දියුණුවෙන්න පුළුවන් විතරක් නෙමේ, තවදුරටත් විශාල දෙයක් දෙන්න පුළුවන්. ඒත් ඒ හැම දෙයක්ම රඳාපවතින්නේ එයාට ලැබෙන අවස්ථාව අනුවයි” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පරීක්‍ෂණය තරමක් අසීරු එකකි. ඒ නිදහස් කුසලාන තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිලට මුණගැසෙන්නේ පහර කෑ බංග්ලාදේශ පිලත් මේ වන විට ඉතා ඉහළින් පියාසර කරමින් සිටින ඉන්දියානු කණ්ඩායමත්ය.

මේ වන විට විස්සයි-20 ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 3 හිමි ඉන්දීය කණ්ඩායම ජොහැන්නස්බර්ග් නුවරදීම දකුණු අප්‍රිකානුවන් ලකුණු 28 කින් පරාජය කරමින් විස්සයි-20 තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. කණ්ඩායමේ හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වන නමුත් හතුරුසිංහ මහතා තරග ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර අදහස් දැක්වීමට පැකිළෙයි.

“නිසැක වශයෙන්ම අපට වඩාත් හොඳ කණ්ඩායම් එක්ක කරට කර තරග කරන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල ගැන සහතිකයක් දෙන්න බෑ. ඒ ගැන අපට කියන්න පුළුවන් එක දෙයයි…පුහුණුවෙන හැම වෙලාවකම වඩාත් හොඳ තත්ත්වයකට එන්න අපි උත්සාහ කරනවා කියන එකයි”

“අපට අපේ හැකියාවල තරමට ක්‍රීඩා කරන්න පුළුවන් නම් මට ඒ ඇති. මොකද අපි අපේ හැකියාවලට අනුව ක්‍රීඩා කරන තරමට අපට දිනන්න අවස්ථාව වැඩියි” යයිද හතුරුසිංහ මහතා කීවේය

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!