Breaking News
Home / දේශීය පුවත් / බුදුන්ටත් ලෙඩ රෝග 12 තිබ්බා මටත් ඇති. බන්ධනාගරේදී මං හිතුවේ මැරෙයි කියලා. විවාහ දෙකයි අසාර්ථකයි. ළමයි 3 යි. සිවුර ඇන්දේ දවසයි

බුදුන්ටත් ලෙඩ රෝග 12 තිබ්බා මටත් ඇති. බන්ධනාගරේදී මං හිතුවේ මැරෙයි කියලා. විවාහ දෙකයි අසාර්ථකයි. ළමයි 3 යි. සිවුර ඇන්දේ දවසයි

දමිත් අසංක කියන්නේ ගමෙන් නගරෙට ඇවිත් තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් දක්ෂ ගායකයෙක්.පසුගිය දවස්වල ඔහු ගැන පැතිරුණු කතානම් ඒ තරම් හොද දේවල් නෙවෙයි. ප්‍රශ්න වගේම කතා ගොඩක් මැද පසුවුණු ඒ කාලය ගැනත් අලුත්ම විස්තර ගැනත් දමිත් අසංක මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

මොනවද අලූත් තොරතුරු?තෝරා බේරා ගෙන ලැබෙන ආරාධනා අනුව ගීත ගායනා කරමින් යනවා.මම ඉපදුන වැල්ලවාය කියන ගමේ තමයි මේ දවස්වල මම ජීවත් වෙන්නේ. පහුගිය කාලේ සිදුවුණ දේවල් කරදර එක්ක මම කරගෙන ආපු දේවල් කිසිම දෙයක් නතර කළේ නැහැ. මිනිස්සුන්ට කරදර බාධක එනවා. ඒවා ගැන මම හිතන්නේ නැහැ. ගෞතම බුදුන්ටත් ගල් පෙරළපු මිනිස්සු ඉන්න සමාජයක මම වගේ පොඩි මිනිහෙකුට ගල් පෙරලන එක ගැන දුක් වෙන්නේ නැහැ.

ඔබ ගීත ගයන්න ඕනම වෙලාවක වේදිකාවට ගොඩ වුණත් මාධ්‍ය ඉදිරියට එන්නේ බොහොම අඩුවෙන්. කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න?මම ඉපදෙන්නේ වැල්ලවාය ඇතිළියවැව කියන ගමේ. මගේ අම්මා තාත්තාටත් ඒ කාලේ ගීත ගායනා කරන්න හැකියාව තිබුණා. ඒ දෙපලගෙන් මට මේ හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ ලැබුණු දායාදයට මට හොඳ ගුරුවරු පිරිසක් ලැබුණා පාර පෙන්වන්න. ඒ අතර සංගීත් නිපුන් විමලසිරි සර්.

ඔහු තමයි මාව ගායකයෙක් කරන්න මුල්ම අඩිය තියන්න උදව් කළේ. විමලසිරි සර් මුලින්ම අපේ පාසලට එනකොට මාව පාසල් ගායක කණ්ඩායමෙන් එළියට දාලා තිබුණේ ගීත ගායනා කරන්න බැහැ කියලා. විමලසිරි සර් මගේ දක්ෂතාවයක් දැකලා මාව ඉදිරියට ගත්තා. ඒකට ඔහුට මම හැමදාම ආචාර කරනවා. ගරු කරනවා. ඔහු මට මේ සංගීත ගමනේ යන්න මිනිස්සු සොයන්නේ මොනවද හැමදේම මට ඉගැන්නුවා. ඔහුව මම අදටත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඊට පස්සේ මට මුණගැහෙනවා දැවැන්ත චරිත කිහිපයක්. ඒ සියලූම දෙනාම මට ලැබෙන හැම අවස්ථාවකම මම සිහිපත් කරනවා.

ඇත්තටම දමිත් අසංකට පසුගිය කාලේ මොකද වුණේ?මම රසික ආදරය දිනාගත්ත පුද්ගලයෙක්. රසික ජනප්‍රියත්වයත් එක්ක අපිට සමහර වෙලාවට පෞද්ගලික ජීවිතේ පවා නැති වෙලා යනවා. මම බන්ධනාගාරගත කරපු එක ගැන සමාජයේ විවිධ අය විවිධාකාර කතා කියනවා. ඒ හුඟක් කතා බොරු. මිනිස්සු නොවිඳපු අත්දැකීම් කම්කටොලූ මම මගේ ජීවිතේ ඕන තරම් විඳලා තියෙනවා. ඒ නිසා මාව වට්ටන්න ටිකක් අමාරුයි. අපිට ලංවෙන මිනිස්සුම තමයි දවසක අපේ අගාධයටත් වළ කපන්නේ.

ඔබ සිවුරක් ඇඳගෙන සිටි කතාව අසත්‍යයක්ද?මම සිවුරක් ඇඳගෙන හිටපු කතාව ඇත්ත. ඒ සිවුර හොරෙන් අරන් ආවා කියලා බොරු චෝදනා කරලා මාව දවස් දාහතරක් හිරේ දැම්මා. ඒ සිවුර ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව ගෙනාපු එකක්. නිර්මාණයක භික්ෂු චරිතයකට තමයි මම සිවුර ගෙනාවේ. මට මානසික ලෙඩක් තියෙනවා කියලා කියපු කතාවට මගේ ඥාති පිරිසක් ඇවිල්ලා එකපාරටම මට පිස්සු කියලා මාව පොලිසි අරන් ගියා. වෛද්‍යවරුන්ට දාලා මගෙන් පැය ගණන් ප්‍රශ්න කළා.

අහපු ප්‍රශ්නවලට පිස්සු නැතත් පිස්සු හැදෙනවා. මම කොහොමත් කුඩා කාලයේ ඉඳලම බුදුදහමට ලැදි බුදුදහම භක්තියෙන් අදහපු පිළිපැදපු කෙනෙක්. මගේ හිත කියනවනම් බුදුදහම පැත්තට ආධ්‍යාත්මික මාර්ගයේ යන්න කියලා ඇඟ ඇතුළේ ඉන්න ගායකයව මට බලහත්කාරයෙන් නතර කරගෙන ඉන්න බැහැ. මට මේ ජීවිතයෙන් මිදීමේ අවශ්‍යතාවය කාලෙක ඉඳලා තිබුණා. ඒක මගේ කැමැත්ත. මම කියන්නේ ඔය කියන අවස්ථාවේ මම සිවුරක් දරාගෙන සිටි වෙලාවේ මට මානසික ආබාධයක් තියෙනවා කියලා පෙනුණා නම් මගේ ඥාතීන්ට කරන්න තිබුණේ මාව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කරන එක.

ඒත් මෙතනදි වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මම බුදු වෙලා කියලා මම කියනවා කියලා මිනිස්සු මා ගැන විවිධ කතා කියලා තිබුණා. බුදු වෙන්න සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන. මම සිවුරක් ඇඳගෙන හිටියේ දවසයි. මට තේරුම් ගන්න බැරි ඔයාලගේ හදවතට ගීත ගායනා කරපු මට ඇයි මිනිස්සු මේ වගේ දෙයක් කළේ කියලා. මම හොඳට බණ අහපු ධර්මය එක්ක ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්. මට පන්සලේ සිවුරු හොරකම් කරලා අඳින්න ඕන නැහැ.

දමිත්ට ජීවිතේ ගැන කලකිරීමක් තියෙනවද?කලකිරීමක් තියෙනවා. දැන් ඒ සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. කිසිම කෙනෙක් එක්ක මගේ හිතේ තරහක් නැහැ. බුදු හාමුදුරුවන්ටත් ලෙඩ රෝග දොළහක් තිබුණා. එහෙම එකේ මට මොන තරම් ලෙඩ රෝග තියනවද කියලා මම දන්නෙත් නැහැ.

ඔබ මේ තත්ත්වයට පත්වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම සහ ප්‍රේම සම්බන්ධතාවක් මත කියන කතාවේ සත්‍යයක් තියෙනවද?මිනිස්සු මැරෙනකම් ආදරේ කරනවා. ආදරේ ලබනවා. මට මුලින්ම ප්‍රේමණීය හැඟීමක් පහළ වුණේ ඉස්කෝලේ තුනේ පන්තියේදී. ඔය සමාජ ජාල වෙබ් අඩවිවලින් කියන කතා සියල්ල බොරු. මට කිසිම නිළියක් හෝ ගායිකාවක් සමග සම්බන්ධතාවක් තිබුණේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේ විවිධාකාර ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. මම වරදක් කරලා තියෙනව නම් ඒක කියන්න මම බය වෙන්නෙත් නැහැ.

ආදරේ කියන දේ ඉස්සරහ මිනිස්සු මුලාවෙනවා. ඒක මටත් පොදුයි. මම දෙපාරක් විවාහ වුණා. එක විවාහයක් අසාර්ථක වුණා. පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. එයාලාත් එක්ක අද මම බොහොම සතුටින් ජීවත් වෙනවා. ජීවිතේ විවිධ කාලවලදී විවිධ සම්බන්ධතා ඇතිවුණා. නැති වුණා. ඒවා අතීතයට ගිය දේවල්.

ඇත්තටම දමිත් අසංක කියන චරිතය රටේ ජනප්‍රිය චරිතයක් කළේ මමයි කියලා නිල්වලා අධිපති කියනවා?කවදත් අතීතය ගැන මම දුක්වෙන්නේ නැහැ. ඔය කියන කාරණයේදී එක් අයෙක් නිසා මම ජනප්‍රිය වුණා කියන්න බැහැ. මම ජනප්‍රිය වුණේ මිනිස්සු මගේ ගීතවලට ප්‍රිය කරපු නිසා. උපුල් ජයසිංහ මහත්තයා මට උදව් කළා. අම්මා තාත්තා, මගේ පාසල, ගම, අතරමැද මුණගැහුණු චරිත මේ සියල්ලම මගේ ජනප්‍රියත්වයට ශක්තියක් වුණා. මට ඒ අයගෙන් උදව් ලැබුණා. කොතැනකදීවත් මම නැහැ කියන්නේ නැහැ.

ඔබ පහුගිය කාලේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. දිගටම සංගීත කටයුතු කරගෙන යනවද?පුහුණුවීම් කටයුතු කරගෙන ආවා. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක්. මම ගෙවපු ජීවිතේ ගැන තත්පරයක්වත් පසුතැවෙන්නේ නැහැ. ඉවසීමෙන් කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා.මේ සිදුවීමෙන් පස්සේ ප්‍රසංග වේදිකාවට ගොඩවුණා ද? ඔව්. දෙසැම්බර් 31 ගෝල්ෆේස් පිට්ටනියේ තිබුණ ප්‍රසංගයට ගොඩවුණා. හිතේ නිදහසක් නැති නිසා මම ප්‍රසංගවලට පසුගිය දිනවල ගියේ නැහැ. දැන් මම සුපුරුදු විදිහට ප්‍රසංගවලට දායක වෙනවා. මම හිරේ ඉද්දිත් මම බන්ධනාගාරයේ ප්‍රසංගයකදී සින්දු කිව්වා.

මම වෙනුවෙන් රසිකයෝ සහෝදර කලාකරුවෝ බෝධිපූජා තිබ්බා. මම වෙනුවෙන් කතා කළා. ඒ හැමකෙනාටම බොහොම පින්. මට හෙට වුණත් සින්දු කීම පැත්තකට දාලා ගමේ ගොවිතැන් කරන්න පුළුවන්. ඒත් මගේ රසිකයෝ වෙනුවෙන් මම වේදිකාවේ පුළුවන් කාලයක් ඉන්නවා. මගේ ජීවිතේ දැන් ආසාවල් හිතෙනවා අඩුයි. බන්ධනාගාරයේදී මගේ හිතට ආපු වේදනාවට මම හිතුවා මාව හිරේදීම මැරේවි කියලා. රසිකයන්ගේ ආශිර්වාදයෙන් තමයි මම නැවත ජීවත් වුණේ. මම හෙටක් ගැන හීන දකින්නේ නැහැ. ගෙවුණු දේවල් හාරඅවුස්සනවට මම කැමතිත් නැහැ.

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!