Breaking News
Home / Video / නිදහස් කුසලානයේ අපේක්ෂිත ආදායම කෝටි 100 ක් ඒ මුදලින් SLPL ප්‍රිමියර් ලිග් තරගාවලිය ඇරබීමට සැලසුමක්

නිදහස් කුසලානයේ අපේක්ෂිත ආදායම කෝටි 100 ක් ඒ මුදලින් SLPL ප්‍රිමියර් ලිග් තරගාවලිය ඇරබීමට සැලසුමක්

ලබන මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී රුපියල් බිලියනයක (මිලියන 1000 ක් හෙවත් කෝටි 100 ක) ලාභයක් උපයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි. නිදහස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් අත්වැල් බැඳගන්නා වාණිජ සහකරුවන් හඳුන්වාදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව හෙළිදරව් කළේය.

“දැන් තියෙන තත්ත්වය අනුව අපි විශ්වාස කරනවා අවම වශයෙන් රුපියල් බිලියනයක (මිලියන 1000 ක) ශූද්ධ ලාභයක් මේ තරගාවලිය ඉවර වෙලා ඉතුරු කරන්න. රුපියල් බිලියනයක ශුද්ධ ලාභයක් ඉලක්ක කරගෙන තමයි අපි යන්නේ” යයි කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී අද (8 වැනිදා) පැවැති උත්සවයේදී සුමතිපාල මහතා පැවසීය.

“මීට කලින් කවදාවත් ඒ වගේ විශාල ආදායමක් තුන්කොන් තරගාවලියකින් (සති තුනක වගේ කාලයක් ඇතුළත) ශ්‍රී ලංකාවට ලැබිල නෑ….”

“මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ තුන්කොන් තරගාවලියකදී වැඩිම ආදායම ලබාපු තරගාවලිය බවට පත්වෙනවා…මේ ආදායම දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ආයෝජනය කරන්නයි අපේ බලාපොරොත්තුව” යයිද සුමතිපාල මහතා පැවසීය.

නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙන් පමණක් මෙවන් ආදායමක් ඇස්තමේන්තු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන්නේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීමේ පදනම දමාගැනීමටයි. එහිදී ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රිකට් ක්‍රීඩාව අළෙවි කළ හැකි පෙදෙස් කරා අවතීර්ණ වෙමින් වැඩි වැඩියෙන් ආදායම් උපයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිඹුරුපත් සකස් කර තිබේ.

මෙම කටයුතු සඳහා ක්‍රීඩා අළෙවිකරණයේ සුප්‍රකට සමාගමක් වන සිංගප්පූරුවේ ‘ලගාඩියර්’ සමාගමේ විශේෂඥ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබේ. නිදහස් කුසලාන තරගාවලිය අළෙවි කිරීමේදී ඉන්දියාවේ රූපවාහිනී සමාගමක් වන ඩී-ස්පෝට්ස් සමාගමත් බංග්ලාදේශයේ ‘චැනල් 9’ සමාගමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගනී. ක්‍රීඩාංගණය තුළ දැන්වීම් අළෙවිය තවත් අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් අළෙවි සමාගමක් වන අයි.ටී.ඩබ්ලිව් සමාගම විසින් බාරගනු ලැබ ඇත.

“අපට මේ වෙනකොට 30්‍ර ක වගේ අත්තිකාරම් මුදලකුත් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි බොහොම සෑහීමට පත්වෙනවා” යයිද සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

“ඒ වගේම මේ වතාවේදී අපි අපේ තරගාවලිය ලෝකයේ අති විශාල ප්‍රේක්‍ෂක පිරිසක් වෙත ගෙන යනවා. කවදාවත්ම ඒ වගේ විශාල ප්‍රේක්‍ෂක පිරිසක් අපට ඉඳලා නෑ…ඒකත් විශාල අවස්ථාවක්” යයිද සුමතිපාල මහතා පැවසීය.

නිදහස් කුසලාන තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ රටවල් 150 ක සජීවී ලෙසින් විකාශය කිරීමට නියමිතය

“අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකාවේ මූලික ක්‍රිකට් තරගාවලියකට යන්න. ඒ නිසා මේක (නිදහස් කුසලාන තරගාවලිය) තමා ලෝකය පුරා ස්ථානගතවෙන්න අපට තියෙන ආදර්ශ තරගාවලිය” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පැවසීය.
අළෙවිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා පටු සීමාවන් පමණි. ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 20 ක් පමණක් වීම ඊට ප්‍රධානතම හේතුවයි.

ජනගහණය අනුව ලෝකයේ දෙවැනි ස්ථානය හිමි ඉන්දියාවේ ජනගහණය බිලියන 1.33 කි (මිලියන 1339 ක්). ජනගහණ ලයිස්තුවේ 8 වැනි ස්ථානය හිමි බංග්ලාදේශයේ ජනගහණය මිලියන 164 කි. මිලියන 20 ජනගහණයක් ඇති ශ්‍රී ලංකාවට හිමිවන්නේ මෙම ලයිස්තුවේ 58 වැනි ස්ථානයයි.

“මෙච්චර විශාල අනුග්‍රාහකයන් සංඛ්‍යාවක් එක වහළක් යටට ගන්න ලේසි නෑ. මේ අය නියෝජනය කරන්නේ ලෝකයේ විශාලතම ආයතනයි. ඔවුන් එහෙම ලේසියෙන් එන්නේ නෑ. ගෙනාවට ඉන්නෙත් නෑ. ඒත් ඒ ගොල්ලන් වගේ අය ආවොත් තමයි අපගේ ආදායම සුරක්‍ෂිත වෙන්නේ…..මේක විශ්වාසයෙන් යන්න ඕන ගමනක්” යයිද සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වේ. විස්සයි-20 තරගාවලියක් වන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ නිදහස පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) 70 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේද 2018 වර්ෂයටය.

 

Image may contain: 2 people, people smiling, people standing and beard

Image may contain: 4 people, people standing

About lanka

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!