Breaking News
Home / දේශීය පුවත් / දිනකට රු 615 යි මාසෙට රු 16000 න් ළමයි දෙන්නා පාසල් යවා බිරිදත් සමග ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලා ජිවත් වන වතු කම්කරුවෙක්ගේ ජිවිත කතාව

දිනකට රු 615 යි මාසෙට රු 16000 න් ළමයි දෙන්නා පාසල් යවා බිරිදත් සමග ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලා ජිවත් වන වතු කම්කරුවෙක්ගේ ජිවිත කතාව

මිට දින කිහිපයකට පෙර මා පානදුර රත්නපුර පාරේ රත්නපුර දෙසට යන විට අතරමග හදිසියේ පාර වසා තිබු නිසා මමත් මගේ අනෙක් සගයාත් පාරේ කොනේ සිටින සුදු සරමක් සහ කමිසයක් ඇදගත් වයස 55 ක 60 ක පුද්ගලයකු දැක ඔහුගෙන් විස්තරයක් දැනගැනීමට ඔහු අසල අපගේ වාහනය නතර කළා. අපි ඔහුට ඇමතුවේ අංකල් කියමින්. ‘අංකල් රත්නපුරට යන පාර වහලද’ එවිට ඔහු ‘එහේම හරියට කියන්න බැ දැනුත් බස් එකෙක් ගියා මාත් යන්න තමයි ඉන්නේ’ යනුවෙන් ඔහු පැවසුවා. පසු අපත් රත්නපුරටම යන නිසා අප වාහනයේ අප දෙදෙනා පමණක් සිටින නිසාත් අප ඔහුට පැවසුවේ ‘යනවනම් යන්න පුළුවන්’ කියමින්. එවිට ඔහු අප වාහනයට ගොඩවී රත්නපුර දෙසට ධාවනය කල අතර සියලු වාහන අතර මගින් වෙනත් අතුරු මාර්ගයකට හරවා යවයි. අප නිකමට මේ පුද්ගලයා සමග කතාවට වැටුන අතර අප ඔහුගෙන් ඇසුවේ ඔහුගේ වෘතිය කුමක්ද යන්නයි.

එවිට ඔහු පැවසුවේ තේ රත්නපුර නගරයට කිලෝමීටර් 5 ක පමණ ආසන්නයේ තේ වත්තක පැල තවානේ සේවයකු බවයි. ඉන්පසු අප ඇසුවේ ඔබේ පඩිය කියද යන්න. ඔහු පැවසුවේ දිනකට 615 මහත්තයෝ යනුවෙන්. එය කියූ විගස අප දෙදෙනා මුනෙන් මුණ බලාගත්තේ කොළඹ නවාතැන්ගෙන සිටින නවාතැන් ඔහුගේ මුළු පඩියට වඩා වැඩි වන නිසයි. එයද අප ඔහුට පැවසු අතර ඔහු එවිට පැවසුවේ ‘ඒක තමයි මහත්තයෝ රජයෙන් නියම කරලා තියන ගාන ඉතින් මොනා කරන්නද වතු අයිති අය දෙන්නේ ඒ ගාන. හැබැයි රජයෙන් දෙන්න කිව්වොත් 1000 වුනත් අපේ මහත්තයානම් දෙයි යනුවෙන් ඔහු පවසයි’ ඔහුගේ වත්තේ අයිතිකරු සමාගමක් නොවන අතර අක්කර 50 ක 60 වත්තක් හිමි තනි අයිතිකරුවකුගේ වත්තකි. ඔහු එහිදී අපට පෙන්නුවේ ඔහු සේවය කරන ස්ථානයේ හිමිකරුට ඇති පක්ෂපාති කමයි. ඔහුට හිමිකරුට පලුයන්න අපසමග බනින්නට හැකිවුවත් ඔහු හිමිකරුට ඉතා පක්ෂපාතිව කතා කල අතර ඔහු පවසන්නේ රජයෙන් කිවොත් 1000 දෙන්න කියලා මහත්තයා දෙයි යනුවෙන්. අද සමාජයේ සේවය කරන ස්ථානයට හා ප්‍රධානියාට හදවතින්ම පක්ෂපාති හා වෘතියට ආදරය මිනිසුන් සොයාගැනීමත් අසීරු කාර්යකි.

අනතුරුව අප ඇසුවේ පිට වැඩ කරන්න ගියානම් දැන් දවසකට 1200 විතර ගන්න පුළුවන්නේ ඇයි නොයන්නේ යනුවෙන්. එවිට ඔහු පවසන්නේ ‘ඒවා මහත්තයෝ අද තිබ්බොත් දවස් දෙකක් නැ එත් මේක එහෙම නෙවනේ මාසෙම වැඩ තියනවා. මේක ස්ථිරයි. ළමයි දෙන්නෙක් ස්කොලේ යනවා. ලොකු දුව මේ පාර උ පෙළ කලේ. එයාට කැම්පස් යන්න පුළුවන් වෙයි. අනික එයා ගියේ රත්නපුර ටිකක් ලොකු ස්කොලෙක. හිටිගමන් අරකට මේකට සල්ලි ඉල්ලන් එනවා. පස්සේ දෙන්නම් කියන්න බැ. ස්ථිර නැති රස්සා කරලා ඒවා කරන්න බැ. මට මේක හැමදාම ලැබෙන බව දන්නා නිසා සැලැස්මක් ඇතිව වැඩ කරන්න පුළුවන්. පොඩි පුතා 9 වසරේ. වයිෆ් ගෙවල් ලග ස්කෝලෙට කෑම දීලා පොඩි ගානක් ගන්න අතරේ වේලක් එකෙන් අපිත් ශේප් කරගන්නවා.ගෙදරින් පිට යන්න බැ මයලා බලාගන්නත් ඕනනේ’ යනුවෙන් ඔහු පවසනවා. මේ කියවෙන්නේ අපේ රටේ තවත් එක ජිවත කොට්ටාශයක දුක්බර සමාජ අසමානතා ආදායම් විෂමතා හා පාලකයා හා මාධ්‍ය සමාජයේ මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වෙනුවට මවපු ප්‍රශ්න පෙන්වමින් අපව මුලා කරන යුගයක් ලෙසයි.

මේ මිනිසුන්ට පෙට්‍රල් රුපියල් කියකින් අඩුවුනාද වාහන මිල කියාද කාබන් බද්ද වැඩිද යන්න එතරම් සංවේදී කාරණයක් නොවෙයි. මේ පවුලේ එක පුද්ගලයෙක් මාසයකට ජිවත් වන්නේ රු 4000 කිනි. එය දිනකට එක පුද්ගලයකුට රු 100 පමණ වෙයි. නගර ආශ්‍රිතව රැකියා කරන බොහෝ දෙනා දිනකට ත්‍රි රෝද රථයක යාමට රු 200 කට වඩා වැය කරයි. අද බොහෝ දෙනා ලොකු ඇදුම් කඩේකට ගිය විට 5000 ක 1000 ක ඇදුම් ගැනීම ඉතා සුළු දෙයකි. සති අන්තයේ ට්‍රිප් යාමට සෙට් වීමට රු 5000 ක් වියදම් කිරීම ඉතාම සුළු දෙයකි. ඒත් එම මුදලින් මාසයක් කන අදින මිනිසුන් කොට්ටාශයක් අප සමාජයේ සිටින බව අපට අවන්කවම මතක්වෙන්නේ නැත.

සමහරුන් දන්නේද නැත.1ඔහු තව දුරටත් මෙසේ පවසයි. ‘ වෙන අයනම් මහත්තයෝ ඉතින් පාටි දානවා ඇවිදිනවා එක එක ඒවා කරනවා අපට එහෙම කරන්න බැ. වත්තේ වැඩ කරන ගමන් ඔය අයිනක පොඩ්ඩක් පැලයක් දෙකක් කන්න පුළුවන් ඒවා හිටවනවා. අද මගේ මේ මල්ලේ මෑ කරල් මිටියක් තියනවා එහෙම හිටවපු එකක්. වේලක් හරි ශේප් වෙනවනේ මහත්තයෝ එකෙන්.හැබැයි ඉතින් ගහක තියන කොස් ගෙඩියක්වත් අපටනම් කඩාගන්න දෙන්නේ නැ සුපවයිසර් මහත්තයා. ඒවා කඩලා අපි එයාලටනම් කපලා දෙනවා ගෙනියන්න. ඒක ඉතින් අපේ ලැබිමනේ මහත්තයෝ. ඕවට දුක්වෙලා වැඩක් නැ. අපේ පුරුවේ කර්ම අනුවනේ ජිවිත තීරණය වෙන්නේ. අපේ රට ලෝකේ සැහෙන්න දියුණුයි. ලංකාවෙත් එක එක නායකයෝ ඉන්නවා. ඒත් ඉතින් අපි ජිවත් වෙන්නේ අපේ මහන්සියෙන්. අපට නැ කියලා අපට වඩා තියන මිනිස්සුන්ට අපි ඉරිසියා කරලා වැඩක් නැ. ඒක ඒ මිනිස්සුන්ගේ පින’ යනුවෙන් ඔහු පවසනවා.

යම් යම් ආර්ථික ප්‍රශ්න පිළිබද කතා කරමින් ආ අප දෙදෙනාට කනේ පහරක් ගැසුවාක් මෙන් මේ පුද්ගලයාගේ කතාව අපට දැනුනි. ඔහු සුදු සරමක් හා කමිසයක් ඇද සිටියේය. අනිවාරෙන් ඔහු අදිනවා ඇත්තේ සුදු පාටම විය යුතුයි. එසේ අප අනුමාන කරන්නේ එවිට ඇදුම් වලට යන වියදම අඩු කරගත හැකි නිසයි. සුදු පාට ඇදුමක් අදින විට හැමදාම අදින්නේ එකම යනුවෙන් කාටවත් නිච්චියක් වන්නේ නැත. ඔහුගේ එම සුදු සරම හා කමිසය සුදු කීවාට දැන් එය කහපාටට හුරුවිද තිබු නිසයි අප එසේ උපකල්පලනය කලේ.

මේ රටේ භුමියේ මිනිසුන් සමග කතා කල විට අපට දකින්නට ලැබෙන තිත්ත ඇත්තයි මේ. ඔවුන්ට 2020 දී කුමන අපේක්ෂකයා ජනාධිපති වනවාද යන්න අදාළම නැත. සිංගප්පුරු ගිවිසුම එට්කා ගිවිසුම ඇමරිකන් යුධ නැව් මාධ්‍ය ආයතනවලට කළු ඇදගත්අය ගිය එක අදාලම නැත. ඔවුන් දිනපතා සටන් කරන්නේ දිනක වැටුප වන 615 අදාළ දිනයේදී සොයාගැනීමට පමණි. ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් පට්ට සාධාරණය. ඔවුන්ගේ මනසට එතරම් නිසදහසක් නැත. ඔවුන්ගේ ජිවන ගමන පවුලත් සමග ඉදිරියට ගෙන යා යුතු අතර එකම අරමුණ ළමුන්ට උගන්වා ගෙන ඔවුන් මේ අර්බුධ වලින් මුදවා ගැනීමයි. වතු කම්කරුවන් කියූ විට බොහෝ දෙනා සිතා සිටින්නේ දෙමල වතු කම්කරුවන් පමණි. එම දෙමල සමාජයේ ප්‍රශ්න අප වෙනම විග්‍රහ කරගත යුතුයි. එහෙත් රත්නපුර දෙනියාය බලන්ගොඩ බණ්ඩාරවෙල බදුල්ල ගාල්ල කලවාන වැනි ප්‍රදේශවල සිංහල වතුකම්කරුවන් පිරිසක් සිටි. ඔවුන්ගේ සමාජ සංස්කෘතිය දෙමල සමාජයට වඩා වෙනස් එකක්. රටේ අනෙක් වෘතිය වල සිටින මිනිසුන් මෙන්ම සියලුම දේ ඔවුනුත් කිරීමට උත්සහ කරයි.

දෙමල සමාජය තරමක් වෙනස් වන්නේ ඔවුන්ට වතු ආශ්‍රිතවම නිවසක් පාසලක් හා වෙනම සමාජය ඔවුන්ට ගොඩ නැගී ඇති නිසයි. එහෙත් සිංහල වතු කම්කරුවා වත්තේ වැඩට එන්නේ ගමේ සිටය. මෙය සිංහල දෙමල ලෙස වෙන් කිරීමට අවශ්‍ය නොවේ. මේ පාර්ශව දෙකේම ආදායම අන්ත ආසදාරන එකකි. එහෙත් මෙය නැවත අප කොටස් ලෙස වෙන් කර බැලීමද අපට මුණගැසුණු කම්කරුවාගේ කතාවට ඉතා සාධාරණක් සිදුවේයැයි විශ්වාස කරනවා. මේ පාර්ශව දෙකම එකම දරිද්‍රතාවෙන් පෙලෙයි. නමුත් අප මාධයෙන් පවා දකින්නේ වතු කම්කරුවන් 1000 ඉල්ලන විට දෙමල කම්කරුවා පමණි. එහෙත් වතු කම්කරුවා යනු දෙමල සිංහල ලෙස නොව පාර්ශව දෙකම දිනකට 615 කින් පවුලක් නඩත්තු කරන්නේ කෙසේදැයි යන්නයි ප්‍රශ්නය. දෙමල කම්කරුවාගේ පවුලක් ගත් විට බිරිද පුරුෂයා සහ පසු දරුවන්ද වතු වැඩට බොහෝවිට යන අතර සිංහල කම්කරුවාගේ වත්තක වැඩට යන්නේ බොහෝ විට එක පුද්ගලයෙක් පමණි.

සිංහල කම්කරුවාගේ දරුවන් බොහෝ විට ඉගනීමට යොමුවී සිටින නිසා ඔවුන් එම වෘතියන් වලට නැවත එන්නේ නැත.මේ ලිපිය කියවන ඔබට ලංකාවේ සැබෑ ප්‍රශ්න මොනවාදැයි බිදක් හෝ පැහැදිලි වනවායයි මා විශ්වාස කරනවා. බොහෝ විට අප පාලකයා හා මාධ්‍ය එකතුවී නිර්මාණය කර ඇති ප්‍රශ්න රටේ සැබෑ ප්‍රශ්න නොවන අතර ඔවුන්ගේ පාලනය පවත්වාගෙන යාමට අලුතින් බලය ඇල්ලීමට මාධ්‍ය සමග ගහන ගේම් එක ඔබට වැටෙනවා ඇති. පුජකයන් තම සාසන කාර්ය සිදු කරනවානම් මේ ගම් වල සිටින දරිද්‍රතාවෙන් යුත් පවුල්වලට උදව් කිරීමට ක්‍රමයක් සැදිය හැකි. එහෙත් ඔවුන් එසේ නොකර ජඩ දේශපාලුව රැකීමට තම ආගමද විකුණන් කමින් සිටි. රටේ 70 % කට වඩා සිටින්නේ ඉතා අසීරුවෙන් දිවි ගෙවන පිරිසකි. එයින් 40% ක් පමණ ඉතාම අසීරුවෙන් ජිවතය ගැටගසගන්නා පිරිසකි. එහෙත් පසුගිය දශක දෙක තුනක කාලයේ සිට වෘතිය හා විවධ ක්ෂේත්‍ර දියුණු කරමින් රටේ නව ආර්ථික වැඩ පිලිවලකට යාමට රට පාලනය කල නුගතුන්ට නොහැකි වූ නිසා අද ආදායම් බෙදීයාමේ විෂමතාව උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. ඇති එකාට කරගන්න දෙයක් නැති තරමට ඇති අතර නැති එකාට දිනකට රු 100 ක් වත් වෙන් වන්නේ නැත.

අද ලංකාවට සිදුවී ඇති අභ්‍යන්තර පරිහානිය සුළුපටු නොවේ. එය ආර්ථික සමාජයීය සංකල්පමය සංස්කෘතිමය දේශපාලනමය හා සියලු ක්ෂේත්‍ර වල පරිහානියකි. එයට මුලිකවම වග කිව යුත්තේ නුගත් පාලකයා සහා දේශපාලන ව්‍යාපාරයි. ඒ ඔවුන්ට දැක්මක් නොතිබූ නිසයි. අනෙකා මාධ්‍යයි. රටේ මාධ්‍ය පාලකයා සමග බොරු සමාජ ගත කරන අතරම රටේ නැති ෆැන්ටසියක් මවා ඇත. අනෙකා පුජකයින්. පුජකයාට ගම සමීපවම මුණ ගැසෙන අතර මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න පාලකයන්ට පෙන්වාදීම වෙනුවට පුජක කම සල්ලිවලට විකුණගෙන උන්ට වහල්කම් කරමින් සිටි. අනෙක් කොට්ටාශය ආත්මාර්ථකාමී උගත් කොට්ටශයයි. උගතෙක් සැමවිටම ගුණයහපත් බුද්ධිමතෙක් නොවේ යන්න මෙයින් සනාත වෙයි.

උගත් කම සල්ලි වලට විකුණගෙන දුෂිත කපටි පාලකයා වෙනුවෙන් තලගොයා කබරගොයාද කබර ගොයා අවශ්‍ය වුවිට කිබුලාද කරමින් වාසියට උගත්කම විකුණා දරුවන් පිටරට යවා උගන්වමින් අපේ සමාජයේ බහුතර අහිංසක කොට්ටශයක් පාවා දී ඇත. මේ පිළිබද පොතක කරුණු ලියවීමට හැකිවුවත් මේ ප්‍රමාණය අපේ රටේ හදවතට වී ඇති හානිය හදුනාගන්න ඉතා ප්‍රමාණවත් යයි මා විශ්වාස කරනවා. මේ සාමාජය උඩු යටිකුරු කිරීමට කාලයක් බවත් අවංක බුද්ධිමත් පරාර්ථකාමී උගත් වැදගත් කොටස් එකට එක්වී විප්ලවකාරී වෙනස් සිදුකිරීමට කාලයක් එලබ ඇතයි සියලු දෙනාට මතක් කරමින් සටහන මෙසේ අවසන් කරනවා.

සුජීව බි හේරත් (ස්වාධින කණ්ඩායම)

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!