Breaking News
Home / දේශීය පුවත් / ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහනය වසර 9 ක් ගතවන තැන එදා දිවිපිදූ ජෙනරාල් පාරමි කුලතුංගගේ ඔබ නොදත් කතාව

ත්‍රස්තවාදයට එරෙහි යුධ ජයග්‍රහනය වසර 9 ක් ගතවන තැන එදා දිවිපිදූ ජෙනරාල් පාරමි කුලතුංගගේ ඔබ නොදත් කතාව

2006 ජූනි 26 වෙනි සඳුදා දිනය උදාවී තිබුණි. වෙලාව පෙරවරු 7.00 ට ආසන්න ය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන දුරකථනය නාද විය.

පැය 24ම සේවයේ යෙදෙන රෝහලක විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලේ දුරකථනය නාදවීම සාමාන්‍ය දෙයකි. රිසීවරය අතට ගත් නිලධාරියා.

“හලෝ…” යැයි කීවේය.

“අද සුපිරි වැඩක් දෙනවා උඹලා සූදානමින් ඉඳපල්ලා…” යැයි දුරකථන ඇමතුමෙන් කියැවිණි. ඒ සමඟ ම දුරකථන ඇමතුම විසන්ධි විය. දුරකථන ඇමතුම ලද දුරකථන කි‍්‍රයාකරු මදකට වික්ෂිප්ත විය. ඊ ළඟ මොහොතේ ඔහු ඒ පිළිබඳ රෝහල් ආරක්ෂක අංශය ඇතුළු අංශවලට දැනුවත් කිරීමට පියවර ගත්තේය. මේ පිළිබඳ ආරක්ෂක අංශ සැලකිලිමත් වෙමින් සිටින්නට ඇත.

මේ අතර ශී‍්‍ර ලංකා යුද හමුදාවේ තුන්වන ඉහළ ම නිලධාරියා වන මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා නිල නිවසේ සිට යුද හමුදා මූලස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියේය.

‘යුහ 16001’ අංකය දරන නිල රථය ද ගමන සඳහා සූදානම් කර තිබුණු අතර එහි රියදුරු අසුනේ සැරයන් ඒ. ආර්. ගෝමස් විය. ලාන්ස් ක්‍රෝපල් බුද්ධික මධුර, මේජර් ජෙනරාල්වරයා සමඟ ම එම රථයේ යාමට සූදානමින් සිටියේය. ඊට පිටුපසින් යුහ 19018 දරන ආරක්ෂක රථය විය. එහි යුද හමුදා සෙබළු කිහිපදෙනෙක් ආයුධ සන්නද්ධව සිටියහ.

පෙරවරු 7.25 පමණ වන විට මේජර් ජෙනරාල්වරයා සිය නිවසින් එළියට පැමිණියේය. ඔහු නිල රථයේ පසුපස ආසනයේ අසුන් ගත්තේය. ඒසමඟ ම ලාන්ස් කෝප‍්‍රල් බුද්ධික මදුරංග ඉදිරිපස අසුනේ වාඩිවිය. කෙමෙන් කෙමෙන් හෝමාගම කැන්දලන්ද නිල නිවසින් එළියට පිවිසෙන කුලතුංග මහතාගේ රථය කොළඹ දෙසට ගමන් ගන්නා වාහන අතරට එක්විය.

සඳුදා දිනයක් වූ එදින තරමක මාර්ග තදබදයක්ද පැවැතිණි. තදබදය අස්සේම “යූහ 16001” දරන ජෙනරාල්වරයා රැගත් රථයත් ආරක්‍ෂක රථයත් ඉදිරියට යමින් තිබුණි. මෙතෙක් වේලා හයිලෙවල් මාර්ගය ඔස්සේ පැමිණි රථය පන්නිපිටිය මංසන්ධිය පසුකෙළේය. ඊළඟ මොහොතේ එය දෙව්රම් වෙහෙර මාවතට හැරවීමට ආලෝක සංඥා දල්වමින් තිබුණි.

මේ අතර ම හීරෝ හොන්ඩා වර්ගයේ යතුරුපැදියක් ආරක්ෂක රථය ඉස්සර කරමින් ඉදිරියට පැමිණියේ ය. මේජර් ජෙනරාල්වරයාගේ වාහනයට සමීප වූ යතුරුපැදිය එක්වරම එහි ගැටිණි. ඊ ළඟ මොහොතේ පන්නිපිටිය ම දෙදුරුම් කෑවේය. කුලතුංග මහතා ගමන්ගත් මෝටර් රථය අඩි කිහිපයක් උඩට විසිවී බිමට පතිත විය.

බොම්බයට හසුවු ජනරාල්වරයාගේ නිල රථය

යකඩ ගොඩක් ලෙසට බිම වැටුණ මෝටර් රථය ගිනි ජාලාවක් වෙලා ගෙන පැවැතිණි. වහා ම කි‍්‍රයාත්මක වූ ආරක්ෂක පිරිස ගිනි ජාලාව වෙලාගෙන තිබූ මෝටර් රථයට පැන පාරමී කුලතුංග මහතාව එළියට ගත්තේය. රියදුරු ඇතුළු සෙසු හමුදා සාමාජිකයන් දෙදෙනාද එලියට ගත්තද ඔවුන් ඒ වන විටත් ජීවතුන් අතර බව රැස්වූ පිරිසට අවබෝධ විය.

ඒ අතර ම අසල තිබූ වාහනයක සිටි සප්තලා රණසිංහ නම් කාන්තාව පාරමි කුලතුංග මහතා ඇතුළු පිරිස රෝහලට ගෙනයාමට ඉදිරිපත් වූවාය. වාහනය කොළඹ ජාතික රෝහල බලා වේගයෙන් පියඹා ගියේය. එහෙත් ඒ වන විටත් මේජර් ජෙනරාල් පාරමී කුලතුංග සහ සෙසු හමුදා සාමාජිකයෝ දෙදෙනා අවසන් හුස්ම හෙලා තිබුණි. පෙරවරු 7.00 පමණ ජාතික රෝහලට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳව බොහෝ පිරිසක් කතාබහ කරමින් සිටියහ.

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකු විසින් යතුරුපැදියක ඉන්ධන ටැංකිය තුළ රඳවාගෙන පැමිණි බෝම්බයක් පුපුරා හැරීමෙන් මේ ඝාතනය සිදුවූ බව නිගමනය කෙරිණි.

මෙහිදී අදාළ යතුරුපැදිය පිළිබඳ ආරක්ෂක අංශ පරීක්‍ෂණ පැවැත්විය. එහිදී එය 2005 වර්ෂයේ ලියාපදිංචි කර තිබුණි. අයිතිකරු වූයේ මුස්ලිම් ජාතිකයෙකි. පසුව ඔහු විදේශ ගතවන අතර එම යතුරුපැදිය ඔහුගේ ඥාතියකු විසින් වෙනත් අයකුට විකුණා තිබුණි.

ඒ බෝම්බය පුපුරවා හැරීමට සති තුනකට පමණ පෙර ය. මේ ගනුදෙනුව තැරැව්කරුවකු හරහා සිදුවුවද තැරැව්කරුවන්ද යතුරුපැදියෙ නව අයිතිකාරයා පිළිබඳ පැහැදිලි තොරතුරක් දැන සිටියේ නැත. මේ අනුව එල්. ටී. ටී. ඊ. ය සිය සාමාජිකයාගේ අනන්‍යතාව හෙළිදරව් නොකිරීමට තරම් සූක්ෂම අයුරින් කටයුතු කර තිබූ බව පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් ඝාතනයට එල්. ටී. ටී. ඊ. ය වගකිවයුතු බව පැහැදිලිව ම පෙනෙන්නට තිබුණි.

දෙවන ලුතිනන් වරයකු ලෙස යුද හමුදාවට එක්වන පාරමී කුලතුංග මහතා මියයනවිට යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානියා විය. දක්ෂ යුද හමුදා නිලධාරියකු වූ ඔහු සිය සේවාව තුළ කීර්තිමත් හමුදා නිලධාරියකු ලෙස ගෞරවය දිනා සිටියේය.

2000 වර්ෂයට වන විට යාපනයේ 52 වන ආඥාපතිධූරය දැරුවේ ඔහු ය. එම වසරේ මැයි මාසය උදා වූයේ ලංකාවේ යුද හමුදා ඉතිහාසයේ බරපතළ ම ගැටලුවකට මුහුණපාමින් සිටිමිනි. එල්. ටී. ටී. ඊ. ය යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමට දැවැන්ත සටනක් කි‍්‍රයාත්මක කර තිබුණි.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වමින්

එහි දී අලිමංකඩ 54 වන සේනාංකය බිඳ වැටිණි. මෙහිදී යාපනය රැක ගැනීමේ වගකීම මේජර් ජනරාල් පාරමී කුලතුංග සහ මේජර් ජෙනරාල් ගාමිණී ජයසුන්දර යන මහත්වරුන්ට පැවැරිණි. මේ සඳහා ඔවුන්ට එවක මේජර් ජෙනරාල්වරුන් වූ ජානක පෙරේරා සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් ලැබිණි.
ඒ අනුව සටන් මෙහෙයවූ ඔවුන්ට යාපනය කොටින්ගෙන් බේරා ගැනීමට හැකි විය.

එමෙන් ම පාරමී කුලතුංග මහතා ජාති, ආගම්, කුල, පංති ආදී කිසිම භේදයක් නොසලකා කටයුතු කළ නිලධාරියෙක් ලෙසටද ජනතාව තුළ ගෞරවයක් දිනාගෙන සිටියේය. පාරමී කුලතුංග මහතා වන්නි ආඥාපති වශයෙන් කටයුතු කරන සමයේදී සුනාමි විපතට රට ගොදුරු විය. එහිදී වන්නි ආඥාපති වශයෙන් ඔහු කි‍්‍රයා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. සුනාමිය හමුවේ වැඩිපුරම අනාථවූයේ දෙමළ ජනතාව ය.

මේ පිරිසට ආහාර පාන ලබාදීමට එදා පාරමී කුලතුංග මහතා මැදිහත්විය. විටක ඔහු කිසිම පැකිලීමකින් තොරව හමුදාව සතුව තිබූ ආහාර පවා ජනතාව අතර බෙදාදීමට කටයුතු කෙළේය. මේ ජනතාව ධීවර කර්මාන්තයෙන් යැපෙන්නෝ වෙති.

ඔවුන්ගේ විනාශයට පත්ව තිබූ ගෙවල් දොරවල් යථා තත්ත්වයට ගෙනඒම සඳහා ඔහු උත්සාහ කෙළේය. සුනාමි විපත තුළ ඔහු ජනතාවට පිහිටට පැමිණ තිබුණේ එසේ ජාති, ආගම්, කුල, පංති භේදයෙන් තොරව ය.

තවත් අවස්ථාවක සිය පවුලේ සාමාජිකයන්ගේ වියදමින් පානම ප‍්‍රදේශයේ නිවාස 12ක් ඔහු ඉදිකිරීමට කටයුතු කර තිබුණි. ඒවාද බෙදා දී තිබුණේ සිංහල, දෙමළ භේදයක් පිළිබඳ නොතකමිනි.

බුදු දහම සමඟ අසීමිත සම්බන්ධයක් කුලතුංග මහතා තුළ විය. ඔහු ති‍්‍රකුණාමලයේ පන්සලක් ඉදිකිරීමට මුල්ව කටයුතු කෙළේය. 2006 වර්ෂයේදී වෙසක් පෝය නිමිතිකොට මහියංගනයේ ආලෝක පූජාවද ඔහු මූලිකව කටයුතු කෙළේය.

එක් අවස්ථාවක පැපොළ රෝගයෙන් අසාධ්‍යව සිටි භික්ෂුන් වහන්සේ නමක් සිය නිවසට රැගෙන ගොස් අවශ්‍ය සත්කාර කිරීමට මේජර් ජෙනරාල් පාරමී කුලතුංග මහතා කටයුතු කර තිබුණි. ඔහුගේ සමකාලීනයකු වූ මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර පාරමී කුලතුංග මහතා සම්බන්ධයෙන් වරක් මෙසේ ප‍්‍රකාශ කර තිබුණි.

“පාරමී කොතරම් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වුණත් තමන්ගේ නිලතල පාවිච්චි කරලා අණ දෙන්න ගියේ නැහැ. ඔහුට පුදුමාකාර ඉවසීමක් තිබුණා. ඔහු තමා යටතේ සිටින සාමාන්‍ය සෙබළු ගැන සොයා බැලුවා. සෙබළුන්ගේ දුකේදී සැපේදී එකට හිටියා. මේ නිසා පාරමී යටතේ සිටි සෙබළු සතුරාට මුහුණදීමට බියවුණේ නැහැ. පාරමී සෙබළුන් අතර ඒ තරම්ම ජනපි‍්‍රය චරිතයක් වුණා.”

සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා..!
සදා සමරමු අපේ යුධ විරුවෝ.

About lanka_2

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!