Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපති නිරීක්ෂණය කර මාස දහයයි දැන් වේරහැර සරණාගත කදවුරක් වගේ – අරුණ පුවත්පත

ජනාධිපති නිරීක්ෂණය කර මාස දහයයි දැන් වේරහැර සරණාගත කදවුරක් වගේ – අරුණ පුවත්පත

මේ අරුණ 18 වන ඉරිදා පුවත්පතේ ගවේශනාත්මක ලිපියක් වන අතර මෙම ලිපිය පල කල මාධ්‍යවේදිනිය ලෙස නම් සදහන් කර ඇත්තේ ලිහිණි මධුශිකා ලෙසයි. මේ ලිපියේ කරුණු හා හෙළිකිරීම් සියල්ල ඔවුන් සතු වන අතර අප මෙය පුවත් පත් වෙබ් අඩවියෙන් උපුටාගත් එකක් පමණි.

ජනපති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණි 2019 නොවැම්බර් 26 වැනි දින සිට අද දක්වා මාස දහයක කාලයක් ගත වී අවසන්ය. පොරොන්දු වූවා සේ මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතා හිතෛශී සේවය සලසන ස්ථානයක් වී තිබෙන්නට ඕනෑය. එහෙමනම් දැන් ඉස්සර වාගේ පැය ගණන් මිනිසුන් රස්තියාදු වන්නටත් බැරිය. එය එසේ වී ඇත්දැයි ඇසුවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ‘‘සුමිත් අලහකෝන්’’ ගෙනි.

‘‘ මේ වන විට වේරහැර ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අපි නව මුහුණුවරක් දීලා තියෙනවා. දවසකට සේවාදායකයන් තුන්සියයකට ආසන්න පිරිසකට අපි සේවය දෙනවා. අලුත් කවුන්ටර් විවෘත කරල තියෙනවා. පැරණි ක්‍රම සියල්ල රී කන්ඩිෂන් කරලා තියෙනවා. කොමසාරිස් ජනරාල්වරයා කියන අයුරින් දිනපතා එක්දහස් පන්සියයක් පමණ රියැදුරු බලපත්‍ර වෙනුවෙන් මේ දෙපාර්තමේන්තුවට පැමිණෙති.

රියැදුරු බලපත්‍ර අංශයේ අධීක්ෂණ නිලධාරී ‘‘කපිල පෙරේරා’’ ඒ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ වෙනත් හේතුවකි. ‘‘කාලය වැයවීම පිළිබඳව ගැටලුවට හේතුව මේකයි. දෙපාර්තමේන්තුව තුළ මෙඩිකල් සෙන්ටර් එකයි, බලපත්‍ර අංශයයි වෙන වෙනම තමයි තියෙන්නෙ. ඒ හේතුව නිසයි මිනිස්සුන්ට තවමත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නෙ. මේ දෙක එකට ලින්ක් වෙන්න අවශ්‍ය අංශ දෙකක්. නමුත් තවමත් එහෙම වෙලා නැති එක ගැටලුකාරී තත්ත්වයක්. ජනපති ආගමනයෙන් පසු වෙනස් වන සේවා අතරේ තැරැව්කරුවන්ගේ ආක්‍රමණයද මර්දනය වී තිබිය යුතුයි. කොමසාරිස් ජනරාල්වරයා කියන්නේ තැරැව්කරුවන් දැන් වේරහැර මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තු බිමේ පස් නොපාගන බවයි.

කොමසාරිස් ජනරාල්වරයා කියන අයුරින් නම් රියැදුරු බලපත්‍රයක් ගන්නට වේරහැරට යන කෙනෙකුට දැන් ප්‍රශ්නයක් තිබෙන්නට ඉඩ නැත. කාලය කා දමමින් වරු ගණන් බලා නොසිට තැරැව්කාර කාක්කන්ගේ කාක් හඬට නොරැවටී දෙයියනේ කියා විභාගය ලියා, ට්‍රයල් පෙන්වා, ගන්නට ආ රියැදුරු බලපත්‍රයට සහතික ලැබ ගෙදර යන්නට පුළුවන. ඉන් දින කීපයකට පසු තැපෑලෙන් රියැදුරු බලපත්‍රය ගෙදරටම එනවාද ඇත.

ඒ බව ඇස් දෙකින්ම දැක ගැනීම වටින්නේය. මේ එහි ගිය පසුගිය අඟහරුවාදා(06දා) දිනයයි. දෙපාර්තමේන්තු භූමියේ ඇතුළත සහ පිටත විශාල ජනකායක් රැස්ව සිටියෝය. මෙහි ප්‍රධාන පිවිසුම අසල දිස්වූයේ සරණාගත කඳවුරක ස්වාභාවයකි. දරුවන් සහ කාන්තාවන් රෙදි එළා බිම දිගා වී සිටි අයුරු දකිනා කෙනකුට මෙහි ජනතාවට සිඟමන් දෙනවාදෝ යැයි සිතීමටද හැකියාවක් ඇත. පිටතට දෙවැනි නොවූ ඇතුළත ඊටත් එහා ගිය අති විශාල ජනකායක් රැස්ව සිටියෝය. වැඩි වශයෙන් සේවය සපයන්නේ දෙපාර්තමේන්තු සේවකයන් නොව අතරමැදි තැරුව්කාර කපුටන් පිරිසක් බව ඇසට පෙනෙන්නට ගත්තේය. මට වහා කොමසාරිස් ජනරාල්වරයා මතක් වුණේය. ඔහු පැවසූ ආකාරයට නම් මේ අයුරින් තැරැව්කාර කපුටන්ට රජවීමට හැකියාවක් නැත.

දවස පුරාවට විවිධ දේ දුටිමි. විවිධ දේ ඇසිමි. කොට්ටාවේ සිට පැමිණි අයකු කීවේ උදෑසන 10 සිට සවස 2.15 පසුවන තුරුත් මෙම පරිශ්‍රය තුළ වුවමනාව ඉටු නොවී රැඳී සිටින බවයි. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වැනි සියයක් මෙරට තුළ ඉපදුණද මේවායේ මඩ සෝදා හැරීමට නොහැකි බවය. පුදුමයකි. මේ, රටේ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ ස්ථානයක්. මෙහි නිලධාරීන්ට, බලධාරීන්ට ජනතාවට සේවය සලසන්නට ජනපති තරයේ අවවාදද කර ඇත. නමුත් තවමත් ජනපතිගේ නිරීක්ෂණ චාරිකාවෙන් දෙපාර්තමේන්තුවේ වැඩ රාජකාරිවල තුළ කිසිදු වෙනසක් නොවී ඇතිබවද පෙනෙන්නේය. දෙපාර්තමේන්තුව තුළ යම් වැඩපිළිවෙළක් තිබෙනවා නම් පොදු මහ ජනතාව ඒ පිළිබඳ දැනුවත් කිරීම මෙයට වඩා ප්‍රායෝගික ආකාරයෙන් කළයුතුයි. – උපුටා ගැනීම අරුණ පුවත්පත ඇසුරින්

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!