Breaking News
Home / දේශීය පුවත් / ජනාධිපතිගේ අගමැති ඉවත් කිරීම පත්කිරීම සම්බන්ධයෙන් මහින්ද රනිල් සිරිසේන අධිකරණයට නොයන නිසා හිටපු ජනාධිපති සම්බන්දිකරන ලේකම්වරයෙක්ගෙන් පෙත්සමක්

ජනාධිපතිගේ අගමැති ඉවත් කිරීම පත්කිරීම සම්බන්ධයෙන් මහින්ද රනිල් සිරිසේන අධිකරණයට නොයන නිසා හිටපු ජනාධිපති සම්බන්දිකරන ලේකම්වරයෙක්ගෙන් පෙත්සමක්

පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත්කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අතුරු නියෝගයෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්කිරීම සහ මහින්ද රාජපක්ෂ දිගටම අගමැති ධුරය දැරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන නමුත්, අගමැතිවරයා පදවියෙන් පහකර නව අගමැතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය වේ.

සිය නීතිවේදීන් මාර්ගයෙන් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ඕෂල හේරත් විසිනි.

පෙත්සම විභාග කොට අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම, එවකට පැවති කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම, ඔක්තෝබර් 26 වෙනි දිනට පසුව “වැරදි ආකාරයට” කැබිනට් මණ්ඩලය පත් කිරීම අත්හිටුවමින් අතුරු නියෝග නිකුත්කරන මෙන් එම පෙත්සම මගින් ඉල්ලා තිබේ.

එසේම, එක්සත් ජනතා නිදහස් සන්ධානය “ජාතික ආණ්ඩුවෙන්” ඉවත් වීමෙන් අනතුරුවත් රනිල් වික්‍රමසිංහ දිගටම රටේ අගමැති පදවිය දරන බව නියෝග කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

කතානායකවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙසින් නම් කොට තිබේ.

ඔක්තෝබර් 26 වෙනි දින සිට තමන් ක්‍රියා කළේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍යතාන්ත්‍රිකයන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය සහ විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් හමුවේ ද අවධාරණය කර තිබේ.

අධිකරණය ඉදිරියේ විභාගවෙමින් පවතින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ කරුණ පමණක් බව ද ජනාධිපතිවරයා විදේශීය මාධ්‍යවේදීන් සමග පැවසීය.

විශේෂයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැතිවරයා බලයෙන් පහකිරීම වැරදි බවට සමාජයේ ප්‍රබල පවතින නමුත් ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ තිදෙනාම මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසීමට උනන්දුවක් නොදක්වන බව පෙත්සම්කාර ඕෂල හේරත් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේය.

“මම මේක කළේ රටේ අනාගතය වෙනුවෙන්. මට අවශ්‍ය වුනේ මෙතෙන්දි කවුද හරි, කවුද වැරදි කියන එක වගේ ම, ඇත්තටම රටේ අගමැතිවරු දෙන්නෙක් ඉන්නවද, නැද්ද කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැහැදිලි අර්ථකතනයක් ලබාගන්න,” ඔහු පැවසීය.

“මොකද මේ ගැන මේ අවස්ථාවේ අධිකරණය තීන්දුවක් ලබා නොදුන්නොත් අනාගතයටත් මේක නරක පූර්වාදර්ශයක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් අලුත් මැතිවරණයකින් රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණත් ඒකත් ප්‍රතික්ෂේප කරන්න ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා.”

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා දුන්නත්, යළිත් වරක් කිසි විටෙකත් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් නොකරන බවට ජනාධිපතිවරයා දිගින් දිගටම කරන ප්‍රකාශය ගැන අදහස් දක්වමින් ඕෂල හේරත් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ක්‍රියාව නීති විරෝධී බවට අධිකරණය තීන්දු කළහොත් එවිට රනිල් වික්‍රමසිංහ යළිත් පත්කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවය.

“ඒ කියන්නේ ඔක්තෝබර් 26 වෙනිදාට පෙර පැවති තත්වය පිළිගන්න ජනාධිපතිවරයාට සිද්ද වෙනව.”

එමෙන්ම තමන් විසින් මන්ත්‍රීවරුන් 225 දෙනාම චුදිතයන් ලෙසින් නම් කරනු ලැබ තිබෙන හෙයින්, පාර්ලිමේන්තුවේ හෝ මහ මගදී ගැටුම් ඇතිකරගනු වෙනුවට, ඔවුන් සියලු දෙනාටම අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාවක් ලැබෙන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් පැවසීය.

මේ අතර මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම පිණිස නොවැම්බර් 30 වෙනි දින කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේය.

එහිදී අදාළ පෙත්සම නොවැම්බර් 30 වන දින සහ දෙසැම්බර් 03 වැනි දින සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!