Breaking News
Home / දේශීය පුවත් / චීනයේ උප අගමැතිට සමාන යං ජියෙෂි වසර 35 කට පෙර ලංකාවට ඇවිත් ඇත්තේ පරිවර්ථකයෙක් ලෙස

චීනයේ උප අගමැතිට සමාන යං ජියෙෂි වසර 35 කට පෙර ලංකාවට ඇවිත් ඇත්තේ පරිවර්ථකයෙක් ලෙස

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි. චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු අන්තර්ජාතික වේදිකාවලදී ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව ද චීන දූත පිරිසේ ප්‍රධානියා කියා සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජියෙෂි මහතා (Yang Jiechi) ප්‍රමුඛ සත් පුද්ගල දූත පිරිස අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමුවුනා.

දිගු කලක සිට චීන විදේශ අමාත්‍යාංශයේ විවිධ තනතුරුවල සේවය කළ යං ජියෙෂි මහතා 2001-2005 කාලයේ අමෙරිකා එක්සත් ජනපදයේ චීන තානාපති ධූරයත්, 2007- 2013 කාලයේ විදේශ අමාත්‍ය ධූරයත් හෙබවීය. චීන පාලන තන්ත්‍රය තුළ ඔහු උප අගමැතිවරයෙකු ( Vice Premier) හා සමානය. ඊයේ දිනයේ පාර්ලිමෙන්තුවේදී සෞඛ්‍ය ඇමතිනි පැවසුවේ එවැනි ප්‍රභල පුද්ගලයකු නිරෝධායනයට ලක්කළ නොහැකි බවයි. එය පහතින් බලන්න.

පසුගිය මහා මැතිවරණයේ දී අත්කරගත් විශිෂ්ඨ ජයග්‍රහණය පිළිබඳව ෂී ජින් පිං මැතිතුමාගේ සුබ පැතුම් රාජපක්ෂ මැතිතුමා වෙත පුද කළ යං මහතා තමා වසර 35කට පෙර භාෂා පරිවර්තකයෙකු ලෙස චීන දූත පිරිසක් සමග ශ්‍රී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. රටවල් 04ක් ඇතුළත් සිය ආසියානු චාරිකාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව සඳහන් කළ ඔහු චීන ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසීය.

“මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වුණා. හම්බන්තොට වරාය, වරාය නගර ව්‍යාපෘතිය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. හම්බන්තොට වරායක් ඉදිකිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක්. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව අප තේරුම් ගත්තා. ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වුණා. බොහෝ භූ දේශපාලන විශ්ලේෂණවල මේ ව්‍යාපෘති අර්ථ කතනය කරන්නේ ශ්‍රී ලංකාව චීනය ඇටවූ ‘ණය උගුලක’ සිරවීමක් ලෙස. එය එසේ නොවන බවත්, මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජිවන මට්ටම වර්ධනය කිරිමට ඉවහල් වන බවත්, සනාථ කරන්න මට අවශ්‍යයයි. ඒ සඳහා අපට උදව් කරන්න”, ජනාධිපතිතුමා චීන දූත පිරිසට පැවසීය.

ජනාධිපති ධූරයට පැමිණීමට පෙර 13 වරක් චීනයේ චාරිකා කළ තමාට චීනය අත්කරගෙන ඇති සංවර්ධනය ප්‍රගතිය සියැසින් දැකගැනීමට හැකි විණැයි ජනාධිපතිතුමා කීය. “ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල විශාල සංවර්ධනයක් මා දුටුවා. මගේ ඉලක්කය ඊට සමාන සංවර්ධනයක් අපේ රටේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඇති කරන්න; ග්‍රාමීය ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරන්න. ඉදිරි සිව් වසර ඇතුළත වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දකින්න මම අපේක්ෂා කරනවා”, ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කොවිඩ් 19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මැතිතුමා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජියේෂි මහතා සඳහන් කළේය.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!