Breaking News
Home / දේශීය පුවත් / ගිය අවුරුද්දේ අද වහින වැස්සට පස් යට වැළලිලා ගිය කලවානේ මිනිස්සුන්ගේ ජිවිත වල දුක. මාසෙන් හදලා දෙන්නම් කියූ ගෙවල් තාම නැ. ලෑලි අටවන් දිවි ගෙවන මිනිස්සු

ගිය අවුරුද්දේ අද වහින වැස්සට පස් යට වැළලිලා ගිය කලවානේ මිනිස්සුන්ගේ ජිවිත වල දුක. මාසෙන් හදලා දෙන්නම් කියූ ගෙවල් තාම නැ. ලෑලි අටවන් දිවි ගෙවන මිනිස්සු

වසරක් තිස්සේ දුක් විඳින මිනිසුන් ……
2017 වසරේ මැයි මස 26 වන දින පාන්දර යාමය. මහ වරැසාවක සීතල සමඟින් අත්වැල්තොට ග්‍රාමයේ සියල්ලෝම පසු වූයේ තද නින්දේය. භද්‍රාවතීගේ පවුලේ උදවියද උන්නේ තද නින්දේ පසුවෙමිනි. එක් වරම මහා විශාල පිපිරුම් හඬක් නැගුණි. මොහොතකින් ඇසුණේ මිනිසුන්ගේ විලාප හඬවල්ය.

“අනේ අපිව බේරාගන්න ” යැයි පැවසෙන අඳෝනාවල්ය. එදා රාත්‍රිය මුළුල්ලේ ඇද වැටුණු වර්ෂාව මැයි මස 26 වන දින උදෑසන 5.30 පමණ වෙද්දී ජීවිත නමයක් මරැ තුරැලට ගෙන ගොස් තිබිණි . අත්වැල්තොට ග්‍රාමයේ සිදු වූ නාය යෑම් ඛේදවාචකය ජීවිත බිලි ගත්තේ එලෙසය.

“අපේ ගේ තියෙන්නේ කන්ද මුදුනේ.. සද්දෙට ඇහැරිලා බලනකොට හැම තැනම පස්, මඩ පාට වතුර ගලනවා. මහා විනාශයක් වෙලා ඉවරයි. “ඒ කඳු මුඳුනේ නිවස පිහිටි යන්තමින් දිවි ගලවා ගත් භඳ්‍රාවතීගේ හඬයි. එලෙස ජීවිත අහිමි වෙද්දී කලවාන මතුගම ප්‍රධාන මාර්ගය අඩි ගණනාවක් උසට පස් වලින් වැසී තිබිණි.

දැන් එම ඛෙදවාචකය සිදුවී වසරකට ආසන්න කාලයක් ගෙවී යමින් තිබේ. එසේ නායගිය ස්ථානය ඛේදවාචකය සිදුවීමට පෙර අවදානම් කලාපයක් ලෙස නම් කල ස්ථානයක්ද නොවේ.

දශක ගණනාවක් තිස්සේ තම දරැ පවුල් සමඟ ගෙවල් දොරවල් හදාගෙන අහිංසකව ජීවත් වෙන ගම් වැසියන් පිරිසක් එම ප්‍රදේශයේ ජීවත් වේ. මෙම සිදුවීමෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් ලබා දුන් වාර්තාවක් අනුව අදාල ප්‍රදේශයේ ජීවත් වූ පවුල් හතලිහක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබුණේ නායයෑම් සඳහා දැඩි අවදානම් කලාපයක් ලෙස එම ප්‍රදේශය නම් කරමිනි.

එසේ ඉවත් කිරීමෙදී රජයෙන් මාස හයක කාලයක් සඳහා ගෙවල් කුලී වශයෙන් මුදල් ලබා දී තිබුනද ඉන් පසුව එයද ඇනහිට තිබේ. පසුව රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන් අසරණ වූ මේ පවුල් සඳහා ලෑලි වලින් සකස් කල නිවාස තනවාදී ඇත. ඒසඳහා තවකාලිකව ඉඩකඩම් ලබාදී ඇත්තේ ද ගමේ හිතවත් ජනතාව විසිනි.

කිසිදු පහසුකමක් නොමැතිව ඒ අසරණ පවුල් අද ගෙවන්නේ බොහෝ දුක්ඛිත දිවියකි. ඇති හැකි පිරිස ඉඩකඩම් රැගෙන අමාරුවෙන් හෝ නැවත නව නිවෙස් තනවා ගනිද්දී එදා වේල අමාරුවෙන් හරි හම්බු කර ගන්නා අසරණ පවුල් තවමත් ඒ ලෑලි නිවෙස් වල කිසිදු පහසුකමක් නොමැතිව අසරණව දිවි ගෙවති.

බලධාරීන් බලා සිටින්නේ ඔවුන් නැවත අවධානම් කලාපයේ නිවෙස් වල පදිංචියට ගොස් තවත් ජීවිත ගණනාවක් අහිමි වෙන තෙක් දැයි නොදනිමි.

“රජයෙන් අපිට ෆ්ලැට් ගෙවල් හදලා මේ අවුරුද්දේ පෙබරවාරි වල යතුරු බාර දෙනවා කිව්වා , තාම මුල් ගලක්වත් තියලා නෑ. ඉඩකඩම් හොයා ගන්න, ඒ සඳහා වන්දි මුදල් දෙන්නම් කිව්වා.. ඉඩම් හොයාගත්තම කියනවා එ්වායේ රජය බලාපොරොත්තු වෙන ප්‍රමිතිය නැතිලු.

ප්‍රාදේශීය ලේකම් තුමා හමුවුනාම කියනවා හැමදේටම සල්ලි පාස්වෙලා කියලා. හැබැයි තවම කිසිදු ප්‍රතිචාරයක් නෑ. අපි හැමදාම ගිහින් රස්තියාදු වෙනවා. හැමකෙනාම දුප්පත් අහිංසක අපිටම තමයි මෙහෙම කරන්නේ,, අපිට අඩුම තරමේ ඉඩම් කෑල්ලක් හරි ලැබෙනවා නම් ඇති මහත්තයෝ. යන්තම් වහලක් අටෝගෙන ජීවත් වෙන්න අපිට පුළුවන්…”

ඒ මේ දුප්පත් මිනිසුන්ගේ හඬයි.
බලධාරීන්ගේ දෑස් විවර නොවන මොහොතක සංවේදී හදවත් ඇත්තන්ගේ හෝ දෙනෙත් විවර වෙන බලාපොරොත්තුවෙන් මේ සටහන තබමි.

සමුගෙන එන මොහොතේ ඔවුන් පැවසූ වදන් හදවත ශෝකයෙන් පුරවාලීය. ..
” අපිත් ඒ නායටම අහුවෙලා පොලවට පස් වෙලාම ගියා නම් හරි මහත්තයෝ.. එහෙනම් මෙහෙම දුක් විඳින්න උවමනා නෑනේ..”

සිතීම ඔබට භාර කරමි……
සටහන – ගිම්සර මධුරංග
සේයාරූ – භාග්‍ය චතුරංග

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!