කතරගම පුදබිම ආසන්නයේ ඇති නාගහ වීදිය ගම්මානයේ නිතර සැරිසරන මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් නිසා ප්‍රදේශවාසීන්ට දැඩිලෙස හිරිහැර සිදුවන බවට වාර්තා වෙනවා. අරක්කු සහ කුඩු, ගංජා, මත් පෙති වැනි මත් ද්‍රව්‍ය භාවිත කරන විශාල පිරිසක් කතරගම සිටින අතර එම පිරිස නාගහවීදියගම ප්‍රදේශයේ නිරන්තරයෙන් සැරිසරන බව සදහන්.
නිතර බීමත්ව සිටින පුද්ගලයන් ගම් වාසීන්ගේ දේපළ කොල්ල කෑම මෙන්ම කාන්තාවන්ට හිරිහැර කිරීම හා නිවාසවලට හානි සිදු කිරීම් වැනි අකටයුතු ක්‍රියා රැසක් මේ දිනවල සිදුව තිබේ. නාගහවීදිය පදිංචි ජනයාගේ නිවාස කීපයකට පසුගිය 01දා දින රාත්‍රි මත් වූ පිරිසක් පැමිණ පහරදී නිවසේ රූපවාහිනි යන්ත්‍ර ඇතුළු භාණ්ඩවලට අලාභහානි කර නිවැසියන්ටද පහර දී ඇත.
වයස අවුරුදු 15 ක් තරම් වූ දැරිවියකටද අතවර කිරීමට මෙම පිරිස උත්සාහකර ඇති අතර මෙම දැරිය ඔවුන්ගෙන් බේරා ගැනීමට මව සමත් වී තිබේ.
යාල ජාතික වන උද්‍යානයට මායිම්ව පිහිටා ඇති ඇති නාගහවීදිය ගමේ ජනයා කොටි ත්‍රස්තවාදී සමයේ ද දැඩි පීඩාවකින් පසු වූ අතර මේ වනවිට මෙම මැර පිරිස් නිසා නැවත ගමේ ජනයා දැඩි පීඩාවකට පත්ව සිටිති. මේ වන විටත් පොලිසියට හසු නොවී කට්ටි පනිමින් ගිනි අවි සහිතව සතුන් දඩයම් කරන පිරිස්ද සිටින අතර මෙම පිරිස් නීතියෙන් බේරි නිදැල්ලේ ගමේ සැරිසරමින් සිටින බව අනාවරණය විය.
මෙම ස්ථානයේ කුටියක වැඩ සිටින ජීවනී බුද්ධසීලි සිල් මාතාව සිදුවීම පිළිබද විස්තර කරන්නෙ මෙලෙසින් ,
“අද නාගහවීදිය ගමේ අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. කුඩු කාරයෝ, ගංජා කාරයෝ වැහි වැහැලා. මේ අයට සල්ලි වුවමනා වුණාම ගෙවල්වලට ඇවිත් මිනිස්සු බය කරනවා. චණ්ඩි පාට් දමනවා. ගමේ ඉන්න නොසන්ඩාල කීප දෙනෙක් ගමම වනසනවා. ගෑනු ළමයකුවත් ගෙදරක තියා ගන්න බැරි තත්ත්වයකට ගම පත්වෙලා. පොලිස්පතිතුමා හරි ජනාධිපතිතුමා හරි මේ පිළිබ`දව සොයා බලා ගම රැක දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා යෑයි ජීවනි බුද්ධසීලි සිල්මාතාව පැවසුවාය.