Breaking News
Home / Video / කවි සින්දු ලිය ලියා එනකම් මග බලන් හිටියත් ආවට පස්සේ අමතක වුන තෙල් නැවේ කථාව

කවි සින්දු ලිය ලියා එනකම් මග බලන් හිටියත් ආවට පස්සේ අමතක වුන තෙල් නැවේ කථාව

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඒරිස් ටග් යාත්‍රාව කොළඹ වරායේ නියමු පාලම් ජැටියෙන් ඊයේ(08) රාත්‍රියේ දහයයි දහයට ගමන් ඇරඹියේ මහසයුරේ නිශ්චිත ස්ථානයක් ඉලක්ක කර ගෙනයි.

ඒ වන විටත් ටග් යාත්‍රාවේ මෙහෙයුම් මැදිරියේ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ, ඉන්ධන නෞකා මෙහෙයුම් කළමනාකරු අනුරුද්ධ රණසිංහ සිතියම් පරීක්ෂා කරමින් සිය කාර්ය මණ්ඩලයට විශේෂ මෙහෙයුමකට විධාන දෙමින් සිටියා.

ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා මුහුදේ නැංගුරම් සීමාවට පැමිණෙන පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් පුරවා ගත් නෙවෙස්කා ලේඩි ඉන්ධන නැවයි. නෙවෙස්කා ලේඩි නෞකාව ශ්‍රී ලංකාවේ සෑම දෙනෙක්ම පුල පුලා බලා සිටි නෞකාවයි.

ප්‍රමිතියෙන් බාල තෙල් රැගත් ආ බව කියූ අයි. ඕ. සී. නෞකාව ප්‍රතික්ෂේප වීමත් සමඟ සියලු දෙනාගේම අපේක්ෂාව වූයේ නෙවෙස්කා ලේඩි නෞකාවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලංකාවටම ඉන්ධන රැගෙන එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ නොවැම්බර් දෙවැනිදායි.

ඒඅනුව එම නෞකාව ඔක්තෝම්බර් 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලි වරායෙන් පිටත් වීමට නියමිතව තිබුනා. සාමාන්‍යයෙන් ඉන්ධන නෞකාවකට ඉන්ධන පැටවීම සඳහා දින 2ක් ගත වන අතර ඒ අනුව ඉන්ධන පටවා ගැනීමේ අපේක්ෂාවෙන් නෙවැස්කා ලේඩි නෞකාව පසුගිය 26 වැනිදා ජෙබල් අලි වාරයේ නැංඟුරම් ලා තිබුනා.

කෙසේවෙතත් ඊට නියමිත වෙලාවට ඉන්ධන පැටවීම ආරම්භ නොකළ අතර එය ප්‍රමාද කෙරුනා. එනම් ඉන්ධන පැටවීම ප්‍රමාද වූ දින ගණන 3ක්. අවසානයේ ඉන්ධන පැටවීම ආරම්භ කළේ 29 වැනිදායි.

එමෙන්ම දින දෙකකින් නෞකාවකට ඉන්ධන පැටවිය හැකි නමුත් ඒ සඳහා දින තුනක් ගත වුනා. ඒ අනුව නෞකාව ජෙබල් අලි වරායෙන් පිටත් වූයේ මේ මස පළමුවැනිදා වන අතර නිවැරදි ක්‍රමවේදය ක්‍රියාත්මක වුයේ නම් ඊට පසු දිනයේ එනම් 2 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුනා. එහෙත් අවසානයේ වුයේ ලංකාවට නෞකාව පැමිණීමට නියමිතව තිබූ දිනයට පෙර දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලි වරායෙන් නෞකාව පිටත් වීමයි.

සාමාන්‍ය යෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ඉන්ධන නෞකාවක් පැමිණීමට දින 6 -7 ක් පමණ ගතවනවා. එහෙත් එය දින 8 -9ක් දක්වා දික් වන බව ඇතැම් හේතු මත පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන්ම බංකරින් සඳහා තවත් පැය 10 බලා සිටීමට නෞකාවට සිදුවීම එවැනි හේතුවක්. එය සාමාන්‍යයෙන් සිදුවන්නක් නොව අසාමාන්‍ය තත්ත්වයක්.

මේ නිසා නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරණයට පැමිණෙන තෙක් තිබුයේ දැඩි අවදානමක්. ඉන්ධනවලට යමක් මිශ්‍ර කරයි කියා හෝ එය තවදුරටත් ප්‍රමාද කරයි කියා හෝ බලධාරීන්ට සැකයක් මතු වී තිබුනා.

ඒ අනුව විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංගගේ උපදෙස්මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංගගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කෙරුනා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ නියෝජිත පිරිසක් ජෙබල් අලි වරාය වෙත පිටත් කර හැරුනා.

ඔවුන්ට පැවරුණු රාජකාරිය වූයේ නැවේ ඉන්ධන සාම්පල මූලික පරීක්ෂාවට ලක් කිරීමයි.

එම සාම්පල පරීක්ෂාව අනුව ඉන්ධන නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු කෙරුනා.

එහෙත් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟාවීම වැළැක්වීම සඳහා කඩාකප්පල් ක්‍රියාවක් සිදු කරනු ඇතැයි සැකයක් බලධාරීන් තුල තිබුනා. ඒ අනුව නෞකාව සමඟ දිගින් දිගටම සම්බන්ධ වෙමින් සහ සැටලයිට් පින්තූර පරීක්ෂා කරමින් නෞකාවේ ගමන් මඟ පරික්ෂා කරන්නට කණ්ඩායමක් කටයුතු කළා.

ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවට පැමිණි වහාම ඊට ආරක්ෂාව සැපයීම සඳහා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක්ද ශ්‍රී ලංකා මුහුදේ නැංඟුරම් සීමාවේ රඳවා තිබු බවයි ඛනිජ තෙල් අමාත්‍යංශ ආරංචි පැවසුවේ. නෙවැස්කා ලේඩි නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරණයට ඇතුළු වී නැංඟුරම් ලැවේ ඊයේ(08) රාත්‍රියේ එකොළහයි හතලියට පමණ.

ඒ සමඟ කොළඹ වරායෙන් පිටත් වූ ඒරිස් ටග් යාත්‍රාවද නෞකාව නැංඟුරම් ලෑ ස්ථානයට පැමිණියා. නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාව විදුලි පහන් ධාරා යොමු කරමින් ටග් යාත්‍රාවට නියමිත ස්ථානය පෙන්වනු ලැබුවා. ටග් යාත්‍රාවේ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාම්පල් රැස්කිරීමේ සහ තත්ත්ව පරීක්ෂා නිලධාරීන් ලහි ලිහියේ සූදානම් වූ අතර ඔවුන්ගේ අරමුණ වූයේ නෞකාව නැංඟුරම් ලා විගසම ඉන්ධන සාම්පල ලබා ගැනීමයි.

ටග් යාත්‍රාවෙන් එම පිරිස නෙවැස්කා ලේඩි නෞකාවට පිවිසියේ එල්ලෙන ඉනිමඟක ආධාරයෙන්. රාත්‍රිකාලයේ එවැන්නක් කිරීම අතිශයින්ම අවදානම් සහගත ක්‍රියාවක් වුනා.

ඉන්ධන නෞකා මෙහෙයුම් කළමනාකරු අනුරුද්ධ රණසිංහ ඒ ගැන මෙසේ සඳහන් කළා. “සාම්පල ලබා ගැනීම කිසිම අවස්ථාවක රාත්‍රි කාලයේ කරන්නේ නැහැ. නමුත් දැන් තියෙන්නේ ජාතික අවශ්‍යතාවක්. ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් මේ මෙහෙයුම සඳහා හදවතින්ම එක් වුණා. අපිට අවශ්‍ය වුණේ ඉන්ධන නෞකාව නැංඟුරම් කළ විටම සාම්පල අරගෙන තෙල් බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම. අපේ සභාපතිතුමා, කළමනාකරණ අධ්‍යක්ෂතුමා මේ මෙහෙයුමට පෞද්ගලික අවධානය යොමු කරමින් අපි සමඟ සිටියා……”

සාම්පල ලබා ගැනීමෙන් පසුව සාම්පල ගොඩබිමට ගෙන ආවේ නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවෙන්.  සාම්පල ලබා ගැනීමෙන් පසුව නෞකාව මුතුරාජ වෙල බෝයාව වෙත ගමන් ඇරඹුවා. ඒ, අද අලුයම හතරයි තිහට පමණ.

එම අවස්ථාවේදීම එනම් අඳුරේම නෞකාවේ ඉන්ධන නළ බෝයාව සවිකළේද දැඩි අවදානමක් දරා ගනිමින්. එම මෙහෙයමු අවසන් වුයේ උදෑසන 7.30 පමණ.

 

About article14

Check Also

හිටපු ජනපතිගෙන් සාමාන්‍ය කට උත්තරයක් ගන්න සි අයි ඩි යද්දී නිල නිවසේ එකම ජන ගංගාවක්. කට උත්තර ගැනීම පලිගැනිමක්ලු. එහෙ එකම ජංජාලයක්

කිත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් කට උත්තර ගැනීමේ සිද්ධිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!