Breaking News
Home / දේශීය පුවත් / ඔයත් සිල්වාලා ප්‍රනාන්දුලා අල්මේදාලා ෆොසේකාලා ද ඔන්න පැටිකිරිය පෘතුගීසින්ගෙන් උරුම වූ ලාංකීය වාසගම් හා තේරුම්

ඔයත් සිල්වාලා ප්‍රනාන්දුලා අල්මේදාලා ෆොසේකාලා ද ඔන්න පැටිකිරිය පෘතුගීසින්ගෙන් උරුම වූ ලාංකීය වාසගම් හා තේරුම්

පෘතුගීසීන් ලංකාවට එසේත් නැත්නම් පෘතුගීසි ජාතිකයින් විසින් හැඳින් වූ පරිදි සීලාඕ (Ceilão) වෙත පැමිණියේ අහම්බයෙනි. 1505 දී ඉන්දියානු සාගරය හරහා යාත්‍රා කරමින් සිටින අතරතුර කුණාටුවකට හසුව ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රදේශයට ගසාගෙන ආ, ඉන්දියාවේ පළමු පෘතුගීසි ප්‍රතිරාජයා වූ ෆ්රැන්සිස්කෝ අල්මේදාගේ පුත්‍රයා වන ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ නාවුකයින්ට, එකිනෙකා කුලල් කා ගාමින් භේදභින්න වී සිටි දේශීය රාජ්‍ය පාලකයින් නිසා මෙරට පෘතුගීසි පාලනයට පදනම දැමීමට පහසු විය. ඉන් වසර දහතුනකට පසුව, එනම් 1518 දී, පෘතුගීසීහු කෝට්ටේ රජ කළ වීර පරාක්‍රමබාහු රජු සමඟ විධිමත් සම්බන්ධතාවක් ගොඩනඟා ගනිමින් කොළඹ කොටුව ඉදි කිරීමට පියවර ගත්හ.

පෘතුගීසි ජාතිකයින් පිළිබඳ නොපහන් හැඟීමෙන් කටයුතු කළ, එවකට කෝට්ටේ රජකළ විජයබාහු VII රජු පෘතුගීසීන් කොළඹ සිට කෝට්ටේ නගරයට වට වන්දනාවක රැගෙන යාමෙන් අනතුරුව කෝට්ටේ නගරයට සම්ප්‍රාප්ත කරවීමේ උප්පරවැට්ටිය නිසාම මෙම විදේශික ජාතිය පිළිබඳව රජුගේ තිබූ ආකල්පය පැහැදිලි ය. ‘පරංගියා කෝට්ටේ ගියා වැනිය’ යන ප්‍රකාශය අදට ද භාවිත වන්නේ මෙම සිදුවීම පදනම් කොට ගෙනයි.

 

පසුව තම සටකපටභාවය උපයෝගී කරගත් පෘතුගීසීන් විජයබාහු රජුගෙන් ඉල්ලා සිටියේ ගෙරි හමක් හෙවත් හරක් සමක් එලා ගැනීමට අවශ්‍ය පමණක කුඩා බිම් කඩක් ලබා දෙන ලෙසයි. ඔවුන් ඉල්ලා සිටියේ කුඩා බිම් කඩක් බැවින් රජු ඊට අවසර දුන් අතර පසුව පෘතුගීසීන් හරක් සම කීතු කීතු වලට ඉරා සිහින් පටි ලෙස කොළඹ විශාල ප්‍රදේශයක ඉඩකඩ වෙන් කරගෙන විශාල බලකොටුවකට පදනම දැමීමට සමත් විය. 1658 දක්වා ලංකාව වටා වෙරළ තීරය පෘතුගීසි ආක්‍රමණයට නතුව පැවතුණි.

වෙළඳාමෙහි දක්ෂයින් වන පෘතුගීසීන් ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ හා වාණිජමය අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ ද, අසීමිත ලෙස සිදුකළ දේශීය සම්පත් සූරාකෑම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ ස්වෛරී රාජධානි හතක් ඇතිවීමට මඟ පෑදුණි. එම රාජධානි වලින් ආරක්ෂා වීම පිණිස කෝට්ටේ රාජධානියට පෘතුගීසීන්ගේ සහාය මත දැඩිව යැපෙන්නට සිදු වූ අතර, ලාංකීය සම්බන්ධතා තුළ පෘතුගීසිහු ප්‍රබල භූමිකාවක් රඟ දැක්වූහ.

රෝමානු කතෝලික දේවස්ථානයේ නියෝග ප්‍රකාරව ධර්මපාල කුමරු සිය ආගමට හරවා බෞතීස්‌ම කිරීමත් හේතුවෙන් පෘතුගීසිහු සිය දේශපාලන අරමුණ ද ඉටුකර ගත් අතර, 1543 දී කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා සමඟ ගිවිසුමක් ඇති කරගන්නා ලදී. ධර්මපාල කුමරු පෘතුගීසි සංස්කෘතියට අනුගත වීමත් සමග ශ්‍රී ලංකාවේ සමාජයේ ප්‍රබල වෙනස්කම් ප්‍රකාශයට පත් වූයේ ය.

ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතුරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් සිදුකළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැක. 16 වැනි සියවසේ දී ලාංකිකයකු කතෝලික දහම වැළඳ ගැනීම යනු සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳ ගැනීමක් බවට පත්විය. පල්ලියෙන් බෞතීස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූයේ ය. කුසුමාසන දේවිය දෝන කතිරිනා වන්නේත්, කරලියද්දේ බණ්ඩාර දොන් පිලිප් බවට පත්වන්නේත් මේ හේතුවෙනි. සුභාෂිතය රචනා කළ අලගියවන්න මුකවෙටි “දොන් ජෙරනිමෝ” ලෙස කතෝලිකයකුව සිට ඇති අතර එම කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරමින් කාව්‍ය සංග්‍රහයක් රචනා කර තිබීම ද කුප්‍රකට සිද්ධියකි.

පෘතුගීසි ජාතිකයන්ගේ බලපෑම නිසා අපේ රට තුළ වර්තමානයේදීත් භාවිත වෙමින් තිබෙන පෙළපත් නාමයන් ගණනාවකි. එම ප්‍රසිද්ධ පෙළපත් නාමයන්හි ආරම්භය මෙන්ම අර්ථය පිළිබඳව ද මෙම ලිපිය මගින් විමසා බැලෙනු ඇත.

 

 

සිල්වා/ ද සිල්වා
සිල්වා සහ එයින් ව්‍යුත්පන්න වන ද සිල්වා යන ජනප්‍රිය පෘතුගීසි පෙළපත් නාමය ලතින් යෙදුමක් වන අතර එහි අර්ථය වන්නේ ‘වනාන්තරය’ නැතිනම් ‘ලඳු කැලෑව’ යන්නයි. මෙම වාසගම පෘතුගීසි භාෂාව කතා කරන රටවල පමණක් නොව පෘතුගීසි ආධිපත්‍යය යටතේ පැවති ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, සහ අප්‍රිකාව වැනි රටවල් වල ද ප්‍රචලිත නාමයකි. සිල්වා හා ද සිල්වා ලංකාවේ ප්‍රචලිත වාසගමක් වුවද එම වාසගම හිමි පුද්ගලයා පෘතුගීසි සම්භවයක් ඇති අයෙකු ලෙස අදහස් නොකෙරේ. පෘතුගීසීන් විසින් පවත්වාගෙන ගිය සංස්කෘතික ආධිපත්‍යයෙන් අපගේ මුතුන්මිත්තන්ට උරුම වූ නාමයන් ලෙස සැලකිය හැකිය.

ප්‍රනාන්දු
ප්‍රනාන්දු යන වාසගම ඉංග්‍රීසියෙන් කියැවෙන්නේ ෆර්නෑන්ඩු යනුවෙනි. පෘතුගීසි නාමය ෆර්නාන්දෝ ය. ‘නිර්භීත’ හෝ ‘නිර්භීත ගමනක්’ යන්න මෙහි අර්ථය වේ. තව ද මෙම නම ජර්මානු මූලයක් සහිත නාමයක ස්පාඤ්ඤ ස්වරූපය යි. ෆාර්ඩි යන්නෙන් ‘ගමන’ යන අර්ථයත් නැන්ඩි යන්නෙන් ‘නිර්භීත’, ‘බය නැති’ යන අර්ථයත් ජනිත වේ. ලංකාවේ ද සිල්වා, පෙරේරා යන වාසගම් මෙන්ම ජනප්‍රිය වාසගමක් වන මෙය පෘතුගීසින් විසින් පාලනය කරන ලද බටහිර ඉන්දියාවේ ද අතිශය ජනප්‍රිය වාසගම කි.

පෙරේරා
ඉංග්‍රීසි භාෂාවෙන් පෙරේරා යන්න පෙරේරා (Perera) සහ පෙරෙයිරා (Pereira) යනුවෙන් වෙන් වෙන්ව භාවිත කරනු ලබයි. එහි තේරුම ‘පෙයාස් ගස’ යන්න යි. පෘතුගීසි පාලනයත් සමග රෝමානු කතෝලිකකරණය හේතුවෙන් සමාජය තුළ ප්‍රචලිත වූ නාමයකි. පෙරේරා යන්න සපාඤ්ඤ නාමයක් වන අතර අයිබීරියන් අර්ධද්වීපය තුළ එහි Perer, Perero, Pereros, Pereyra, Pereyras, Das Pereiras, Paraira ආදී විවිධ ස්වරූපයන් ඇත.

අල්මේදා/ද අල්මේදා
අල්මේදා නැතිනම් අල් මයිදා (Al-maaidah) යන අරාබි මූලයෙන් පැමිණි මෙම නාමය පෘතුගාලයේ Beira Alta පළාතේ ඉස්ලාමීය ආක්‍රමණයට නතුව තිබූ නගරයක් හැඳින්වූ පෘතුගීසි වචනයකි. පළමුවරට දිවයිනට පැමිණි පෘතුගීසි දේශ ගවේෂකයකු වූයේ ලොරැන්සෝ ද අල්මේදා යි. පසුකාලීනව පෘතුගීසීන් විසින් ලංකාවේ බලය තහවුරු කර ගැනීමත් සමඟ සිංහල හා දෙමළ පවුල් ගණනාවක් අල්මේදා යන වාසගමට වැදගත්කමක් ලබා දුන්නෝ ය.

කොස්තා/ද කොස්තා
කොස්තා යන්න costa නමැති ලතින් වචනයෙන් බිඳී ආ පෘතුගීසි වාසගමකි. මෙහි ලතින් වචනයේ අර්ථය වන්නේ ‘රබර්’ යන්න ය. කාලයාගේ ඇවෑමෙන් මෙම වාසගම දිවයිනේ වෙරළබඩ පළාත් හි භාවිත වූ අතර ‘පැත්ත’, ‘බෑවුම’, ‘වෙරළ’ යන තේරුම ද සහිතය. තව ද කොස්තා සහ ද කොස්තා යන නම් ඉතාලි සහ ස්පාඤ්ඤ වාසගම් වේ. පෘතුගීසීන් මෙරට ස්ථාවර වීමත් සමග සිංහල සහ දෙමළ පවුල් අතර මෙම වාසගම ප්‍රචලිත විය

ෆොන්සේකා
ෆොන්සේකා යන පෘතුගීසි නම fōns siccus යන ලතින් වචනයෙන් බිඳී ආවකි. එහි තේරුම ‘සිඳී ගිය ලිඳ’ යන්නයි. ‘වියළි බිම උල්පත’ ලෙස ද අර්ථකථනය වේ. යුරෝපයේ උණුසුම ගිම්හාන මාසවල දී වියළී ගිය උණුසුම් වසන්ත කාලයන් හමුවුව ද අද වන විට ෆොන්සේකා යන්න ජනප්‍රිය සිංහල වාසගමකි.

 

 

කොරයා
පෘතුගීසි වචනයක් වන කොරයා යන්නෙහි අර්ථය ‘සම් පටි’ යන්න යි. මෙම වාසගම වෘත්තීයයක් පදනම් කරගෙන පැවත එන්නක් ලෙස සැලකිය හැකි අතර එහි මුල්ම හිමිකරු සම් පදම්කරුවෙකු, නිෂ්පාදකයකු, හෝ විකුණුම්කරුවෙකු වන්නට ඇත. තවද කොරයා යන්නෙන් ‘හදවත’ යන්න ද අර්ථවත් වන බව පැවසේ. පෘතුගාලය සහ ස්පාඤ්ඤයේ ජනප්‍රිය මෙම වාසගම පෘතුගීසි පාලනය තුළ ශ්‍රී ලාංකීය දෙමළ සහ සිංහල පවුල් විසින් භාවිත කරනු ලැබීය.

තිසේරා
Teixeira යන පෘතුගීසි වචනයෙන් පැවත එන අතර ‘යූ ගස’ (Yew) අර්ථය ගෙන දේ. ලංකාවේ ඕනෑම අයෙකු දන්නා වාසගමක් වුව ද පෙරේරා, සිල්වා මෙන් ප්‍රචලිත නැත. නමුත් මෙය පෘතුගාලය තුළ බෙහෙවින් ප්‍රරසිද්ධ වාසගමකි.

කබ්රාල්
කබ්රාල් (Cabral) හා එහි තවත් ප්‍රභේදයක් වන Cabraal නමැති ලතින් මූලයෙන් එන මේ නමෙහි අර්ථය ‘එළුවන් ගාල්වන තැන’ යන්න යි. මෙය ආරම්භයේ දී එළුවන් ඇති කරන පුද්ගලයකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ඒ අනුව මෙම වාසගම ද වෘත්තියකට අදාළව ඇති වූවක් සේ සැලකිය හැක. මෙම වාසගම ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිතව ඇත්තේ සිංහල පවුල් අතර ය.

තාබෲ/ ද ආබෲ
Thabrew යන්නෙහි ප්‍රභේදයක් වන ද de Abrew යන්න Abreu නමැති පෘතුගීසි වචනයෙන් වර්ධනය වී ආවකි. මෙම නාමයේ මූලය විවාද සම්පන්න ය. මෙය නෝමැන්ඩි පෙළපතේ ඉපැරණි ශාඛාවක් ලෙස සැලකෙන අතර තවත් මතයක් වන්නේ හීබෲ හි ඒබ්‍රහම් යන යෙදුම හා සම්බන්ධ වන්නක් බවයි.

පැස්කුවල්
Pasco යන පෘතුගීසි මූලයෙන් පැමිණි පැස්කුවල් නමෙහි අර්ථය පාස්කු මංගල්‍යය හා බැඳී පවතී.

සොයිසා
Souza යන පෘතුගීසි මූලයෙන් පැමිණි මෙම නාමය යොදාගෙන ඇත්තේ පෘතුගාලයේ සූසා නම් ගංගාවේ නිම්නයේ පදිංචි වී සිටි වැසියන් හඳුන්වනු පිණිස බව සැලකේ.

පීරිස්, නෝනිස්, ගෝමස්, සුවාරිස්, මෙන්ඩිස්, සිගේරා, කෲස්, රුද්‍රිගු, වාස්, පීරිස්, පාරිස්, ඩයස්‌, මෙන්ඩිස්, ද මෙල් ආදී වශයෙන් පෘතුගීසි සංස්කෘතියෙන් ලැබුණු නම් ගණන් කළ නොහැකි තරම් ය. මේ හැරෙන්නට ශ්‍රී ලංකාවේ එදිනෙදා භාවිතා වන පෘතුගීසි වචන ගණනාවක් ද ඇත. කලිසම, කමිසය, අල්මාරිය, බෝනික්කා, බොත්තම එවැනි වචන වලින් කිහිපයකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන්ම උතුරේ, පෘතුගීසි සම්භවයක් ඇති පෘතුගීසි භාෂාව භාවිත කරන ජන කොටස් අදටත් දක්නට ලැබේ. වසර එකසිය පනස් තුනක් පුරා පැවති පෘතුගීසි පාලනය අද දක්වාම අප රටේ සංස්කෘතික අනන්‍යතාවයට සිදු කර ඇති බලපෑම කොතෙක්ද යන්න ඉන් පැහැදිලි වේ.

source : Roar වෙබ් අඩවිය

About article14_2

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!