Breaking News
Home / විශේෂ ලිපි / උදේ පාන්දර ලංකාවෙම මිනිස්සුන්ගේ මනස සැහැල්ලු කල ඔරිජිනල් DJ අරා නිවේදනයට තිත තබා ගුවන් නියමුවෙක් වෙන්න යයි

උදේ පාන්දර ලංකාවෙම මිනිස්සුන්ගේ මනස සැහැල්ලු කල ඔරිජිනල් DJ අරා නිවේදනයට තිත තබා ගුවන් නියමුවෙක් වෙන්න යයි

මෑත කාලීන රේඩියෝ ඉතිහාසයේ බිහිවුණු සුවිශේෂ චරිතයක් තමයි අරවින්ද ලොකුගේ කියන්නේ. ඔහුගේ මේ නමට වඩා ඔහු ඔබට මට වඩාත් සමීප ‘අරා’ නමින් සිය මාධ්‍ය ගමනේ සුවිශේෂ තීරණයක් ගත් ඔහුගෙන් ඒ ගැනත් තවත් තොරතුරු ටිකකුත් කතා කරන්න අපි ඔහුව සම්බන්ධ කර ගත්තා.

♦ මොකද හැමතැනම අරාලා පැටව් ගහලා වගේ අහන්න ලැබෙන්නෙ?
හොඳ නිර්මාණයක් වටා මිනිස්සු එකතුවීම සහ අනුකරණය කියන්නේ සමාන්‍ය ලෝක ස්වභාවය. ඉතින් මේ ප්‍රශ්නයටත් හේතුව ඒකම තමයි.

♦ පසුගිය කා‍ලේ මාධ්‍ය ජීවිතේ ඔබ ගත්ත තීරණයේ වෙනසක් තියෙනවාද?
පුද්ගලිකව දැනුණු දෙයක් මත මම වැඩ කරපු ආයතනයෙන් අයින් වෙන්න තීරණය කළා. ඊට පස්සේ බොහෝ මාධ්‍ය ආයතනවලින් ලැබුණු ආරාධනාවලින් මම මට සුදුසුයි කියලා හිතෙන තැන තෝරා ගත්තා.

♦ රේඩියෝ කලාවේ වෙනම චරිතයක් වුණු ඔබ බිහි කළ නිවේදකයන් අද ක්ෂේත්‍රයේ හොඳ තැන්වල ඉන්නවා?
ගුරුවරයකුට කරන්න පුළුවන් උගන්වන එක විතරයි. ඉතින් මම මගේ කාර්යය කළා. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවයෙන් ගමනක් ඇවිත් තියෙනවා. ඉතින් එතැනදී මම කළේ ‍පොඩි තල්ලුවක් දීපු එක විතරයි. අද ඔවුන් යම් තැනක ඉන්නවා කියන්නේ ගුරුවරයෙක් හැටියට මම සාර්ථකයි කියන එක.

♦ අරාට කලින් හිටපු මාධ්‍ය ආයතනයෙන් ආරාධනාවක් ආවොත් පිළිගන්නවද?
අපි ජීවිතේ සමහර තීරණ කොච්චර කලින් අරගෙන තිබුණත් ඒක ඒ විදිහටම තීරණය වෙන්නෙ නැහැ. මම හිරු එෆ්.එම්. ඉන්න කා‍ලේ හිතුවේ මේ තමයි මගේ ගමනේ අවසාන නවාතැන කියලා. එතැනින් අයින් වුණේ ආයේ මාධ්‍යයට සම්බන්ධ වෙන්නෙ නෑ කියන තීරණය අරන්. හැබැයි අපිට කිසිම දෙයක් කලින් තීරණය කරන්න බෑ. ඒක ඒ වෙලාවට තමයි තීරණය කළ යුත්තේ.

♦ DJ අරා අරවින්ද විදිහට වෙනස් වෙද්දී මොකද හිතෙන්නෙ?
‘අරා’ කියලා කියන්නේ ‍පොඩි කා‍ලේ ඉඳන්ම කොයි කවුරුත් මට කතා කරපු නම. ඉතින් ඒ නමමයි DJ අරා විදිහට පාවිච්චි වුණේ. කලින් මාධ්‍ය ආයතනයෙන් මට පැනවූ වාරණය තමයි මින් ඉදිරියට DJ අරා කියන නම පාවිච්චි නොකළ යුතුයි කියන කාරණය. ඒ අනුව තමයි DJ අරා දැන් අරවින්ද විදිහට කියැවෙන්නේ. ඉතින් මාත් එක් වැඩ කරන නිවේදිකාව අරවින්ද කියලා කියන කොට ඇත්තටම ‍පොඩි අමුත්තක් දැනෙනවා. හැබැයි මිනිසුන්ට නම් තාම මම අරා.

♦ ඒ කියන්නේ ආයතනය වෙනස් වුණා කියලා අරාට තියෙන ප්‍රතිචාර අඩු වෙලා නෑ.
හරියටම හරි. මගෙ ‘අරා’ කියන කෙටි නමට පවා ආදරය කරපු මිනිස්සු ඉන්නවා. ඉතින් අරා අරවින්ද වුණා කියලා ඒ ආදරය වෙනසක් වෙලා නෑ.

♦ අරවින්ද ලොකුගේ ඊළඟ බලා‍පොරොත්තුව මොකක්ද?
දැනට මම මේ විෂයට ආදරෙයි. ඒ වගේම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයටත් කැමැතියි. ඉතින් ඒ දෙක කරගෙන යනවා. ඒ ඒ කාලෙට ලැබෙන අභියෝග භාරගෙන ඉදිරියට යනවා. විනෝදයට කරපු දේ අද වෘත්තියක් වෙලා. ඉතින් තව අදහසක් තියෙනවා ගුවන් නියමුවෙක් වෙන්න. දැනට සමහර අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. බලමු මේ වගේම ඒ දේත් විනෝදයට කරලා වෘත්තීය බවට පත්වෙයි සමහරවිට.
♦ කොහොමද ඔබේ මාධ්‍ය ජීවිතේ ආරම්භ වුණේ?
මම අද මාධ්‍ය ක්ෂේත්‍රයේ චරිතයක් කියලා කෙනෙක් කියනවා නම් ඒ මගේ අම්මට පින්සිද්ධ වෙන්න. මොකද මගේ කිසිම කැමැත්තක් තැනිව තනිකරම අම්මාගේ වුමනාවටයි මම මේ ගමන ආවේ. අවුරුදු 16, 17 දී වගේ තමයි ‍පොඩි හරි කැමැත්තක් මට මේ ගැන ඇති වුණේ.

♦ ඔබට මතෛක් ලැබුණු ඇගයීම් ගැනත් කතා කරමු?
මගේ නමින් අනුකරණ තියෙනවා නම් ඒ නමින් බිහිවුණු වැඩසටහන් තමයි මට ලැබෙන ලොකුම ඇගයීම සහ ප්‍රතිචාරය. ඊට අමතරව විවිධ අංශවලින් හොඳම වැඩසටහන, හොඳම නිවේදක…. ආදී ලෙස නොයෙකුත් ඇගයීම් ලැබුණා.

♦ ඔබව විවේනය කරන පිරිසකුත් ඇති නේද?
මගේ නොදැනුවත්කමින් එහෙම පිරිසකුත් මට ඇති. හැබැයි විවේනයට වඩා මගෙන් වෙන අතපසුවීම් නිවැරදි කරන පිරිසකුයි මට ඉන්නේ.

♦ හැමෝම අතරේ කියවෙන නමක් ඔබට තියෙනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?
දක්ෂතම, හොඳම නිවේදකයා මම නොවෙන්න පුළුවන්. නමුත් මට මේ ලැබෙන ප්‍රතිචාර සහ ආදරය මට ගොඩක් වටිනවා. මම හිතන්නේ පෙර පින් අනුව තමයි මට මෙහෙම වාසනාවක් ලැබිලා තියෙන්නේ.

♦ මාධ්‍ය ජීවිතේ අවසාන අරමුණ මොකක්ද?
මිනිස්සු ආස කරන ආදරය කරන තවත් නිවේදකයන් පිරිසක් සහ වැඩසටහන් බිහිකිරීම තමයි මගේ අරමුණ. එතැනින් තමයි මම මේ ජීවිතේ විඳින්නේ.

About lanka

Check Also

ලංකාවේ මෙච්චර ලස්සනද? ඔබ මේ තැන් කීයක් දැකලා තියනවද? ඡයාරුප ශිල්පියකුගේ කාචයෙන් දැකපු අරුමපුදුම අපේ රටේ ලස්සන

සුන්දර ශ්‍රී ලංකාවේ සුන්දරත්වය උපුටා ගැනීම ප්‍රදීප් ගමගේ චායාරුප ශිල්පියාගෙ කැමරා කාචයේ සටහනෙනි page – https://www.facebook.com/pradeepgamagephotography

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!