Breaking News
Home / දේශීය පුවත් / අලුත්ම ප්‍රතිකාර ගන්නා රාජිනි කාන්ත්. ලංකාව වැඩක් නොගන්නා වෛද්‍ය එලියන්ත වයිට් කියූ කතාව

අලුත්ම ප්‍රතිකාර ගන්නා රාජිනි කාන්ත්. ලංකාව වැඩක් නොගන්නා වෛද්‍ය එලියන්ත වයිට් කියූ කතාව

“කිසිවකුත් මං ගැන බලන්නේ නැති වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඩොක්ටර් ඒලියන්ත වයිට් මහතා මුණගස්සලා මගේ පාදයේ ආබාධය සුව කරලා දුන්නා” යනුවෙන් ලසිත් මාලිංග තම සමුගැනීමේ තරගයේදී කීවේය.

වරක් ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තරගයක් අවසානයේදී ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා හැඳින්වූයේ ආශ්චර්යවත් වෛද්‍යවරයා වශයෙනි. මෙම ආශ්චර්යවත් වෛද්‍යවරයා සොයා මව්බිම වාර්තාවක් ගෙන එනවා.ඔහු වෛද්‍ය ඒලියන්ත ලින්ඩ්සේ වයිට්.

වෛද්‍යවරයකු ලෙස ඔබ ගැන කෙටි හැඳින්වීමක් සිදුකරමින් මෙම සංවාදයට මුලපුරමු කියලා මුලින්ම ආරාධනා කරනවා. – මේක මං විසින්ම සොයාගත් වෛද්‍ය ක්‍රමයක්. මට කුඩා කාලයේ සිටම විශ්වය සමඟ යම් බැඳීමක් තිබුණා. මේක මිනිසා බිහි වෙනවා සමඟත් ආපු වෛද්‍ය ක්‍රමයක්. මේක “රාවණා” යුගයට කලින් ආපු වෛද්‍ය ක්‍රමයක්ද කියලා යමකු ඇසුවොත් ඊටත් වඩා පරණයි කියලා තමයි මට කියන්න වෙන්නේ.

මේ වෛද්‍ය ක්‍රමයෙන් අපි කියන්නේ නාඩි ඇල්ලීමෙන්. නාඩි ඇල්ලීමෙන් කෙනකුගේ ජීවිත කාලයම කියන්න පුළුවන්. ලෝකයේ වේගවත්ම ස්කෑන් ක්‍රමයක් වශයෙන් නාඩි කියැවීමෙන් ලබාගන්නා තොරතුරු හඳුනාගන්න පුළුවන්.

යම් පුද්ගලයකුගේ රෝග විනිශ්චය කිරීමේ හැකියාව නාඩි ඇල්ලීමෙන් ඔබට දැනෙන්නේ කොහොමද? – නාඩි අල්ලන විට ඊට අදාළව විශ්වයෙන් පැමිණෙන ශබ්ද තරංග මගේ කනට සම්බන්ධ වෙනවා. ක්ෂණිකව කනට ශබ්ද තරංගයෙන් රෝග විනිශ්චය ලබා දෙනවා.

ඒක තවදුරටත් උදාහරණයක් මඟින් පැහැදිලි කරන්න පුළුවන්ද? – ප්‍රධාන නාඩි ස්ථාන ඇල්ලුවාම එම නාඩි ස්ථානය සමඟ මගේ සිතට සිතුවිලි එනවා. ඒක දැනෙන්නේ මට විතරයි. මට ඒක මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බැහැ. මගෙන් පස්සේ මේ වෛද්‍ය ක්‍රමය මගේ දුවටයි පුතාටයි පුරුදු කරගෙන යනවා.

රෝගය විනිශ්චය කිරීමෙන් පසුව ප්‍රතිකාර කරන්නේ කොහොමද? ඖෂද මොනවාද? – ඖෂද සොයාගැනීම තමයි මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ. ඖෂද සොයගන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව මේ සම්බන්ධයෙන් අපේ රටට උදවු කරනවා. මේක පුරාණ කාලයෙන් සොයාගත් බෙහෙත් වට්ටෝරුවක් අනුවයි අප ක්‍රියා කරන්නේ. මෙම ඖෂද තියෙන්නේ ඉන්දියාවේ හිමාලය කඳුවැටි ආශ්‍රිතවයි. බොහෝ දුෂ්කර වන්නේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව තිබෙන ඖෂද වර්ගවල නම තෝරාගැනීමයි.

එදා මේ කොළ වර්ගවලට මොනවද කිව්වේ. මේ වෙනකොට මේ කොළ වර්ග හඳුනාගන්න නවීන තාක්ෂණයත් උපයෝගී කරගන්නවා. හිමාලයෙන් මෙම ඖෂද හොයාගෙන ගෙන්වන ඉන්දියානු ජාතිකයන් ඉන්නවා. මේවා අති දුර්ලභ ඖෂද වශයෙන් හඳුන්වන්න පුළුවන්. මං දැනට වැඩ කරන්නේ අපේ රට වගේ 62 ගුණයක් විශාල ඉන්දියාවේ.මේ වනවිට ඔෟෂධවලට සංකේතයක් යොදලා තියෙනවා. එම සංකේත මාර්ගයෙන් තමයි මේ ඔෟෂධ පැළෑටි එකතු කරන්නන් හරහා මේවා එකතු කරගන්නේ.

ඉන්දියාවේ හිමාලය කඳුවැටිය ආශ්‍රිතව මෙම ඖෂද පැළෑටි සොයාගැනීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා නේද? – ඔව්. විශාල මුදලක් වැය වෙනවා. නමුත් කවදාවත් මං ප්‍රතිකාර කරන කිසිදු රෝගියකුගෙන් මුදල් අරගෙනත් නැහැ. අරගන්නෙත් නැහැ. ඉන්දියාවේ විශාල ව්‍යාපාරිකයන් ඉන්නවා. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පවුල්වල රෝගීන්ට මං ප්‍රතිකාර කරනවා. ඒ වගේම මෙම ව්‍යාපාරිකයන් විසින් අහිංසක නැති බැරි ජනතාවටත් මේ ඖෂද ලබාදීමෙන් උදවු කරනවා.

එතකොට අපේ රටේ ජනතාවට බෙහෙත් කරන්නේ කොහොමද? – ඉන්දියාවේ මහ පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන ඖෂදවලින් තමයි මෙරට යම් පිරිසකට නොමිලේ ප්‍රතිකාර කරන්න හැකි වෙලා තියෙන්නේ. මේක මුදලට කරන්න ගියා නම් මේ ප්‍රතිකාර ක්‍රමය මෙහෙම කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. මුදල් තියෙන කෙනකුට වුවත් මේ ප්‍රතිකාරය කරන්නේ නොමිලේ. නැත්නම් මේ ප්‍රතිකාර ක්‍රමය මට පිහිටන්නේ නැහැ.

මිනිසකුට හැදෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව ඔබට තිබෙනවාද? – ඔව්. මට ඒ හැකියාව තියෙනවා. මෙම ඖෂධවලට මගේ ආශීර්වාදය ලබාදුන් විට ඒ දෙකේම සංකලනයෙන්, බලයෙන් ප්‍රතිකාර කරලා මට රෝග සුවකිරීමේ හැකියාව තියෙනවා. වචනවලින් එම ඖෂධවලට බලය ලබාදුන් වහාම එම ඔෟෂධ ඉතා බලවත් වෙනවා. වතුර පිරිත් කළාම පිරිත් පැන් ඉතා බලවත් බව අමුතුවෙන් කියන්න ඕන වන්නේ නැහැ. ඒ රෝගය හඳුනාගෙන ඒ අනුව අවශ්‍ය වාර ගණන ආශීර්වාද කරගන්නවා.

ඔබ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? – භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාගේ බිරිය මඟින් ශිරන්ති රාජපක්ෂ මැතිනිය හඳුනාගැනීමට ලැබෙනවා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා හඳුනාගන්න ලැබෙනවා. 2004 වර්ෂයේදී තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වන්නේ.

ඔබගේ වෛද්‍ය ක්‍රමය ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැක්වූයේ කුමන ප්‍රතිචාරයක්ද? – අන්න ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. මේක හරි විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාට තේරුම් කරලා දෙන්න බැරිවුණා නම් මට ඉන්න වෙන්නේ මානසික රෝහලක. මං මුණගැහුණාට පසුව මාව පරීක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මගෙන් ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ටම මං දන්නා විදියට පිළිතුරු ලබාදුන්නා.

එම පිළිතුරුවලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා සෑහීමකට පත්වුණා. මේක මේ විදියට සාර්ථක වෙනවානම් අති විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වේවි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා. ඒක මං පසුගිය අවුරුදු කිහිපය තුළ රට වෙනුවෙන් සිදුකර පෙන්නුවා.

ඔබ මහින්ද රාජපක්ෂ මහතාට වැඩි හිතවත්කමක් දක්වනවා වගේ. – නැහැ. එහෙම නැහැ. මට දේශපාලන භේදයක් නැහැ. මං විපක්ෂයට වගේම ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන්ටත් බෙහෙත් සිදුකරනවා. දැනට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් 9 දෙනකුගේ ප්‍රධාන වෛද්‍යවරයා වශයෙන් මම ක්‍රියා කරනවා.

ආරක්ෂක හේතු මත නම් කියන්න බැහැ. අනෙක් වෛද්‍යවරුන්ට වඩා වේගවත්ව මට ලෙඩේ හඳුනාගෙන සුව කිරීමට හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ රටවල් 9 රාජ්‍ය නායකයන්ට සුළු අසනීපයක් හැදුණත් මට තමයි කතා කරන්නේ. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මං තවම කටයුතු කරනවා. කරු ජයසූරිය කතානායකවරයා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මගෙන් ප්‍රතිකාර ලබාගන්නවා.

රාජ්‍ය නායකයන් සමඟ ඔබ කටයුතු කරන කොට අත්දැකීම් මොන වගේද?- ගොඩක්ම ළං වෙන්නේ නැහැ. හුඟක් ඇත් වෙන්නේත් නැහැ.

පසුගියදා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත් සුපිරි වේගපන්දු ක්‍රීඩක, යෝකර් රජු ලෙසින් හැඳින්වෙන ලසිත් මාලිංග සමුගන්නා අවස්ථාවේදී ඔබ ගැන විශේෂ සඳහනක් කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාර්ගයෙන් 2008 වසරේදී ඔහුගේ පාදයේ ආබාධය සුව කළේ ඔබ කියලා. මොකද්ද මේ කතාව?

මාලිංග එදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කරපු කතාවට මං ඔහුට ස්තුතිවන්ත වෙනවා. මට හිතාගන්න බැහැ මාලිංග කරපු කතාව. මාලිංගගේ පාදයක දණහිසේ අමාරුවක් තිබුණා. අවුරුදු 11කට පෙර සිදුවූ සිදුවීම මාලිංගට මතකයි.

ඇත්තටම මාලිංගගේ පාදයට මොකද්ද වෙලා තිබුණේ? – සාමාන්‍යයෙන් පැයකට කිලෝමීටර් 150කට අධික වේගයෙන් පන්දු යවන පන්දු යවන්නන්ට මෙවැනි පාදයේ ආබාධ ඇති වෙනවා. නමුත් ලෝකයේ කිසිම වෛද්‍යවරයකුට මාලිංගගේ පාදයේ ආබාධය සුව කරන්න බැරිවුණා. මාලිංගගේ පාදයේ ආබාධය ඇතිවෙලා තිබුණේ මං හිතන්නේ වම් පාදයේ තමයි.

දණහිසේ ඇති වූ ආබාධය හේතුවෙන් මාලිංග හිටියේ දැඩි වේදනාවකින්. ඔහුට සමහර වෙලාවට ඇවිදගන්නත් බැහැ. පඩිපෙළක් නඟින්නත් බැහැ. ඵහෙම කෙනෙක් කොහොමද යළි වේගපන්දු යවන්නේ.

විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් මොන වගේ දෙයක්ද මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් කියලා තිබුණේ? – ඕස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් යංග් මහතා තමයි අස්ථි සම්බන්ධයෙන් ලෝකයේම නමක් දිනාගෙන සිටින විශේෂඥ වෛද්‍යවරයා. අස්ථි ආබාධයට ලක්වූ ලෝකයේ ක්‍රීඩකයන් බොහෝදෙනකු යන්නේ ඩේවිඩ් යංග් වෛද්‍යවරයා ළඟට. ඔහු මාලිංගගේ ආබාධය සම්බන්ධයෙන් මෙහෙම දෙයක් තමයි කියලා තිබුණේ.

මාලිංගගේ පාදයට සිදුවූ ආබාධය ලෝකයේ ක්‍රීඩකයන් තුන්දෙනාටයි හැදිලා තියෙන්නේ. ඒ තුන්දෙනාම දැන් ක්‍රීඩාවෙන් ඉවත් වෙලා. ඔයා තමයි හතරවැනියා කියලා තමයි ඩේවිඩ් යංග් වෛද්‍යවරයා මාලිංගට කියලා තියෙන්නේ.

මාලිංගගේ දණහිසේ ආබාධය එතරම් හානි කරද? – ඔව්, ඉතාම බරපතළ තත්ත්වයක් තිබුණේ. දරාගන්න බැරි වේදනාවක් නිතරම මාලිංගට තිබුණා. දණහිසක් අලුතෙන් දාලා හැදුවොත් මාලිංගට ඇවිදින්න පුළුවන් වෙයි. නමුත් පැයකට සැතපුම් 150ක වේගය ඉක්මවා පන්දු යවන්න නම් බැරිවෙයි.

ඒක තමයි මාලිංග කිව්වේ කවුරුත් මා ගැන නොබලන අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැදිහත්වෙලා මට කියලා මේ අසනීපය ගැන මාව දැනුවත් කළා කියලා මාලිංග කිව්වේ ඒ නිසයි. මාලිංගගේ ඒ කළගුණ දැක්වීම මුළු රටටම ආදර්ශයක්.

මාලිංගගේ පාදයේ ආබාධය සුවකිරීමට ඔබ මැදිහත්වූ ආකාරය ගැන දැනගන්න කැමැතියි. – 2008 වර්ෂයේ එක්තරා දිනෙක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවෙන්න මං අරලියගහ මන්දිරයට ගියා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා එක්ක රාත්‍රි ආහාරය ගත්තා. වැඩ වැඩි නිසා එදා ජනාධිපතිතුමා රාත්‍රි ආහාරය ගත්තේ ටිකක් ප්‍රමාද වෙලා.

අපි කෑම කන ගමන් ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ආවා. ඒ පුතා කිව්වා “තාත්තේ දන්නවාද ලසිත් මාලිංගට ආපහු ක්‍රිකට් ගහන්න බැරි තරමටම ඔහුගේ පාදය ආබාධයකට ලක්වෙලා. මාලිංගට ආපහු ක්‍රිකට් ගහන්න එපා කියලා ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා කියලා යෝෂිත කිව්වා.

මේ ගැන ඔබට මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ මොනවාද? – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෑම කන එක එහෙම්ම නතර කරලා මගෙන් ඇහුවේ ඒලියන්ත, ඔයාට මාලිංගට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා සර් මාලිංගගේ කකුල බලන්නේ නැතුව මට හරි දෙයක් කියන්න අමාරුයි කියලා.

ඒ වෙලාවේම මාලිංග සම්බන්ධ කරගන්න ජනාධිපතිතුමා උත්සාහ ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. කොහොම හරි ඊට පහුවෙනිදා හවස මාලිංගට අරලියගහ මන්දිරයට එන්න කියලා ජනාධිපතිතුමා පණිවුඩයක් යැව්වා. සවස 4ට මටත් එන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.

ඊට පසුදින අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා සහ මාලිංග හා මා එකට හමුවුණා. මාලිංගගෙන් කකුල ගැන සේරම විස්තර අහගත්තා. ඊට පස්සේ මං කකුල බැලුවා. එතකොට ජනාධිපතිතුමා ඇහුවා කකුල හොඳ කරන්න කොච්චර කාලයක් යාවිද කියලා. මං එතකොට මාලිංගගේ නාඩි බැලුවා. නාඩි බලලා මං කිව්වා මට දවස් 5ක් දෙන්න කියලා.

මං කිව්වා දවස් 5න් මාලිංගගේ කකුල හොඳ කරනවා කියලා. එතකොට මාලිංග පුදුමයෙන් වගේ මං දිහා බැලුවා. මොකද මාලිංග දන්නවා පාදයේ තිබෙන ආබාධයේ බරපතළකම. කොහොම හරි මං දවස් 3 2/1න් පාදය සුවකළා. දවස් 5ක් වෙනකොට මාලිංගට හොඳටම සුවයි.

ප්‍රතිකාර කළේ කොහොමද? – මාලිංගගේ නාඩි ඇල්ලුවාම මට තේරුණා ඔහුට ලබාදිය යුතු ඔෟෂධ හා ආශීර්වාදය මොකද්ද කියලා. ඒ අනුව ඔෟෂධ ලබාදීම හා ආශීර්වාදය සිදුකළේ මට විශ්වයෙන් ලැබෙන ශක්තියක් උපයෝගී කරගනිමින්.

ප්‍රතිකාර කළේ කොහේදීද? – ඒ වෙලාවේ යම් සුළු ප්‍රතිකාරයක් කළා. ඉතිරි දින 5 ප්‍රතිකාර කළේ මාලිංගගේ නිවෙසේදී.

ඔබගේ ප්‍රතිකාරවලින් පසුව මාලිංගගේ පාදයේ ආබාධය මුළුමනින්ම සුව වූ බවට වෛද්‍ය සහතිකය ලබාගත්තාද? – ඔව්. වෛද්‍ය සහතිකයක් නැතුව ආපසු ක්‍රීඩා කරන්න බැහැ. ප්‍රතිකාරවලින් පසුව පාදයේ ස්කෑන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකළා. එම පරීක්ෂණවලින් මාලිංගට සුව වී තිබෙන බව සනාථ වුණා. මාලිංගට කාටත් වඩා හොඳට පාදය සුව වී තිබෙන බව ඉතා හොඳින්ම දැනුණා.

වසර 11ක් වෙනවා, මාලිංගගේ එම පාදයට කිසිදු ආබාධයක් පැමිණියේ නැහැ. මාලිංගගේ පාදය 100%ක්ම සනීපයි කියලා බටහිර වෛද්‍යවරුන් සිය පරීක්ෂණ මඟින් තහවුරු කළා. 2015දී මාලිංගගේ අනෙක් පාදයේත් ආබාධයක් ආවා. එම ආබාධයත් මං දවස් දෙකෙන් තුනෙන් හොඳ කරලා දුන්නා.

ලසිත් මාලිංගගේ පාදයේ දණහිසට ඔබේ ප්‍රතිකාරවලින් කුමක්ද වුණේ? දණහිසේ තිබෙන කට්ටේ ගෙවීම සුව කළාද? – මට ඒක මේ වෙලාවේ හරියටම පැහැදිලි කරලා කියන්න බැහැ. දණහිසේ කට්ටේ ගෙවීමක් තිබුණේ. ඒ ගෙවීම නිසා දණහිසේ කටුදෙක එකට ගැටෙනවා. ජෙල් එකක් හිඳිලා. දණහිසේ කට්ට ගෙවිලා. සමහර තැන්වල කෑලි කැඩිලා තිබුණේ. මං සුවකරපු පළමු ක්‍රීඩකයා ලසිත් මාලිංග. ලෝකයේ අනෙකුත් ක්‍රීඩකයන් මං ගැන දැනගත්තේ් ලසිත් මාලිංගගේ පාදයේ ආබාධය සුව කළ වෛද්‍යවරයා වශයෙන්.

ඉන්දියාවේ සචින් තෙන්දුල්කාර් මං ගැන දැනගත්තේ් ලසිත් මාලිංගගෙන්. මොකද මාලිංගගේ පාදයේ ආබාධය සුව කරන්න බැරිවීම කියන කාරණයට ලෝක ප්‍රසිද්ධියක් ලැබී තිබුණේ. එහෙම හිටපු මාලිංග දින 5න් සම්පූර්ණයෙන්ම සුවය ලබානවා නම් ඒකත් ලෝකයේ බොහෝදෙනකුගේ අවධානයට ලක්වන කරුණක්.

ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට ඔබෙන් ප්‍රතිකාර ලබාගැනීමට මඟ පෑදෙන්නේ කොහොමද? – ලසිත් මාලිංග ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වුණා. මෙහිදී සචින්, මාලිංගගෙන් අහලා තියෙනවා, සුව කරගන්න බැරිව හිටිය පාදය සුවකරගත්තේ කොහොමද කියලා. එතකොට මාලිංග මං ගැන කියලා තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැනත් කියලා තියෙනවා.

සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය මොන වගේ එකක්ද? – සචින් තෙන්දුල්කාර්ට වැඩි වේලාවක් පිටියේ රැඳී ඉන්න බැහැ. ඔහුට කොන්දේ හා මස්පිඬුවල ආබාධයක් තිබුණා. සාමාන්‍යයෙන් සචින් පන්දුවට පහර දෙන විට ඕවර් 10ක් 15ක් යනකොට ඔහු වෙනුවට දුවන්න පුළුවන් ආදේශකයෙක් කැඳවනවා. මේක සචින්ට මානසිකව වදදුන් විශාල පීඩනයක්. ඒ නිසා සචින්ට පුළුවන් වුණා මට කියලා කෙසේ හෝ ඔහුගේ මස් පිඬුවල ආබාධය සුවකරගන්න.

සචින් තෙන්දුල්කාර් ඔබව සම්බන්ධ කරගන්නේ කෙසේද? – මේක වුණේ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරයි. මේ කාරණය සචින් තෙන්දුල්කාර් විසින් එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ප්‍රකාශ කරලා තිබුණා.

එක් දවසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ කාරණය දන්වලා තිබුණා. ඊට පස්සේ දවසක මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයා උදේ වරුවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දුරකථනයෙන් කතාකරලා තියෙනවා. මන්මෝහන් සිං මහතා අහලා තියෙන්නේ සචින් තෙන්දුල්කාර්ව එවන්න ද කියලයි. අපේ ජනාධිපතිතුමා ඕන වෙලාවක එවන්න කියලා තියෙනවා. ඊට පස්සේ පැය 4 1/2ක් විතර යනකොට මුම්බායිවල ඉඳලා පෞද්ගලික ගුවන් යානයකින් සචින් තෙන්දුල්කාර් ඇතුළු ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු පැමිනුණා.

සචින් තෙන්දුල්කාර්ට ප්‍රතිකාර කිරීම සිදුවුණේ කොහොමද? – සචින් ආවේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයටයි. සචින්ගේ නාඩි බලලා මං ආශීර්වාද කළා. ඒ වගේම බෙහෙත් දුන්නා. මට තවම මතකයි සචින් ජනාධිපතිතුමා ඉදිරිපිට බෙහෙත් බිව්වේ සෙරෙප්පු දෙක ගලවලා. ඒ අවස්ථාවේදී මං මගේ උපරිමය පාවිච්චි කළා. සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය සුව කිරීමට මට ගියේ පැය 2 1/2යි. මුළු ලෝකයෙන්ම සනීප කරන්න බැහැ කිව්ව සචින් තෙන්දුල්කාර් සනීප කරන්න ලැබීම මා ලද භාග්‍යයක්. එසේම එය ශ්‍රී ලංකාවට ගෞරවයක්.

තමන්ගේ කකුල පැය දෙකහමාරෙන් පස්සේ සුව කිරීම ගැන සචින් තෙන්දුල්කාර් මොන වගේ ප්‍රතිචාරයක්ද දැක්වූයේ? – සචින්ගේ ආබාධය මුළුමනින්ම සුව වෙලා දින 5කට පමණ පසුව සචින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ඉන්දියාව වෙනුවෙන් සහභාගි වුණා. සචින් නොදැවී ලකුණු 200ක් ලබාගෙන ලෝක වාර්තාවක්ද තැබුවා. එතකොට සචින් ඕවර් 50ක් පිටියේ පන්දු රැකලා.

තව පැත්තකින් නොදැවී ලකුණු 200ක් ගහලා. තරගයෙන් පසුව මාධ්‍යවේදීන් සචින්ගේ ආබාධය ගැන ඇහුවා. ඔහු මං ගැන කියලා කිව්වා මං තමයි ඔහුව සුවපත් කළේ කියලා. මේ කතාව සජීවීව මුළු ලෝකයටම ගියා.

සචින් එදා ක්‍රීඩාංගණයේ ඉඳලා මට miracle doctor කියලා කරපු හඳුන්වාදීම නිසා මුළු ඉන්දියාවේ ඉන්න ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, දේශපාලන නායකයන් ඇතුළු බොහෝදෙනකු මං ගැන විපරම් කරන්නට පටන් ගත්තා. සචින් තෙන්දුල්කාර් එතකොට ලෝකයේ අංක 1 පිතිකරු. ඔහු මා ගැන කළ ප්‍රකාශයට මුළු ලෝකයේම අවධානයක් යොමුවුණා.

ඉන්පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආබාධ සුව කිරීමේ රාජකාරිය මට පැවරිලා තියෙන්නේ. මීට අමතරව අවුරුදු 11ක්ම ධ්ර්ථීඹ් ඉන්දීය ෆ්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේත් වෛද්‍යවරයකු ලෙස මං සේවය කරනවා. මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා වශයෙන් තමයි මං දැන් කටයුතු කරන්නේ.

සචින් තෙන්දුල්කාර් තවමත් ඔබ සමඟ සම්බන්ධතා පවත්වනවාද? – ඔව්. මං දැන් සචින්ගේ පවුලේ වෛද්‍යවරයා වගේ වෙලා. ළඟදිත් සචින්ගේ පුතාගේ ආබාධයකට ඉන්දියාවේ ගෙදරදී ප්‍රතිකාර කළා. 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සචින් තෙන්දුල්කාර්ගේ පුතා අර්ජුන් තෙන්දුල්කාර්. ඔහුගේ තිබුණු බරපතළ කොන්දේ ආබාධයකට මං ප්‍රතිකාර කළා. දැන් ඔහුට සුවයි. ඔහුත් සචින් වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි.

ආබාධය සුව කිරීම සම්බන්ධයෙන් සචින් තෙන්දුල්කාර් මොනවද ඔබට විශේෂයෙන්ම කිව්වේ? – මං සචින් විසින් මුළු ලෝකයටම හඳුන්වා දුන්නා. ඔහු මට කිව්වේ ඩොක්ටර් ස්තුති කරන්න වචන නැහැ කියලයි. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. සචින් තෙන්දුල්කාර්ගේ ආබාධය සුව කළාට සචින් ඒ ගැන ස්තුති කරලා ඔහු අස්සන් කරපු ගෞරව සහතිකයක් මට දුන්නා.

ලසිත් මාලිංග වගේම සචින් තෙන්දුල්කාර් මට කිව්වේ ඔහුට අමාරුම අවස්ථාවේදී මට පිහිට වුණා කියලා. සචින් තෙන්දුල්කාර්ට මුළු ඉන්දියාවම ආදරෙයි. අදටත් මිනිස්සු සචින්ට මල් තියලා වඳිනවා. මල් තියලා වැඳුම් පිදුම් ලබන වෙනත් ක්‍රීඩකයකු ගැන මං තවම අහලා නැහැ.

2009 වසරේ පමණ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තිලාන් සමරවීර ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනකු තුවාල ලැබුවා. තිලාන් සමරවීරට ප්‍රතිකාර කරන්න ඔබත් මැදිහත් වුණා නේද?

ඔව්. වෛද්‍ය පිංතෝ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව මාත් ප්‍රතිකාර සඳහා මැදිහත් වුණා. වෛද්‍ය පිංතෝ මහතා මට කිව්වා ඔබට පුළුවන් ආශීර්වාදයක් තිලාන් සමරවීරට කරන්න කියලා.

තිලාන් සමරවීරගේ පාදයට මොන වගේ හානියක්ද සිදුවෙලා තිබුණේ? – බුලට් එකක් පාදයේ කලව ප්‍රදේශයේ කොටසක් මාංස ඇතුළෙන් ඉරාගෙන ගිහිල්ලා ඉතා දරුණු හානියක් සිදුවෙලා තිබුණේ. සැත්කමක් සිදුකිරීමට නියමිතව තිබුණා. ඊට පැය 17 1/2කට පෙර මං ආශීර්වාද කරමින් මගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කළා.

මගේ පැත්තෙන් ඒ ආශීර්වාදය සිදුවෙන අතරේ විශේෂඥ වෛද්‍ය පිංතෝ ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විශාල කැපකිරීමක් වෙහෙසක් සිදුකරලා ඔවුන්ට කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කළා. මේ සියලු කාරණා හේතුවෙන් දින 5ක් යනවිට තිලාන් සමරවීරට කකුල් දෙකෙන්ම ඇවිදින්න පුළුවන් වුණා. ඒ පිංතෝ වෛද්‍යතුමා ඇතුළු බටහිර වෛද්‍යවරුන්ගේ සහාය නොලැබෙන්නට මටත් ඒ ප්‍රතිකාරය කරන්න විශාල අභියෝගයක් වෙන්න තිබුණා.

ඒ තරම් දරුණු හානියක් තමයි තිලාන් සමරවීරගේ පාදයට සිදුවෙලා තිබුණේ. තිලාන් සමරවීර හොඳටම සුවවෙලා මාසයක් පමණ ගියාට පසුව පැවැති තරගයෙන් තිලාන් සමරවීර ලකුණු 200ක් ලබාගත්තා. තිලාන් සමරවීරත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවෙලා ඔහුගේ ස්තුතිය පිරිනැමුවා.

ඔබෙන් ප්‍රතිකාර ගත්තු අපේ රටේ වෙනත් ක්‍රීඩකයන් කවුද? – සංගක්කාර හැරෙන්න සෑම ක්‍රීඩකයකුම වගේ මගෙන් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. සංගක්කාරට ඒ ආකාරයෙන් ප්‍රතිකාර ගන්න අවස්ථාවක් උදාවුණේ නැහැ.

ඔබ ප්‍රතිකාර කරන්නේ විශේෂ පුද්ගලයන්ට පමණක්ද? – නැහැ, මං දිගටම ශ්‍රී ලංකාවේ ඉන්න කොට අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයකට ප්‍රතිකාර කරලා සුවපත් කරලා දීලා තියෙනවා. නමුත් ප්‍රසිද්ධ කෙනකුට ප්‍රතිකාර කරන එක තමයි මිනිස්සු දන්නේ. මාලිංගගේ ආබාධයට වඩා ඉතා දරුණු ආබාධවලට ලක්වුණු සාමාන්‍ය මිනිස්සු කොච්චර මං සනීප කරලා තියෙනවාද? මං මේ කිසි දෙයක් කරන්නේ ප්‍රසිද්ධිය සඳහා නොවේ.

ඔබ ඉන්දියාවේ වැඩි කාලයක් ගත කිරීමට තීරණය කළේ ඇයි? – මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 පරාජයට පත්වුණාට පසුව මගෙන් වැඩි ප්‍රයෝජනයක් ගත්තේ ඉන්දියාව. නමුත් අපේ රටට ඕනෑම අවස්ථාවක උදවු කරන්න මං සූදානම්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වොත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කිව්වොත් මං එම නායකයන් ඉල්ලන දෙයක් කරනවා. දැනටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්‍යවරයා වශයෙන් මං කටයුතු කරනවා. කරු ජයසූරිය කථානායකතුමාටත් මං ප්‍රතිකාර කරනවා. මගේ සේවයේදී පක්ෂ විපක්ෂ කිසිදු භේදයක් නැහැ.

ඉන්දියාවේ තව ප්‍රතිකාර කරලා තියෙන ක්‍රීඩකයන් කවුද? – නම් වශයෙන් කියන්න බැහැ. ඉන්දියාවේ සෑම ක්‍රීඩකයකුටම ප්‍රතිකාර කරලා තියෙනවා. ධ්ර්ථීඹ් තරගාවලියේදී කුනාන් පාන්ඩේගේ බඩේ ලොකු ඉරීමක් ආවා. ඒක දරුණු තත්ත්වයක්. කුනාල් පාන්ඩේට සිනහ වෙන්න බැහැ. ඔහු සිනහ වෙනකොටත් බඩ රිදෙනවා. සති 18ක් පමණ විවේක ගත යුතුව තිබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබුණේ කුනාල් පාණ්ඩේ ඉක්මනින් සුවකර ගැනීමට. මාලිංග හා පුහුණුකරු මහේල මට ඉන්දියාවේ ඉඳලා කතා කළා. මට ඉක්මනට එන්න කියලා ගුවන් යානයකුත් එවලා තිබුණා. මං ගිහිල්ලා පැය 17 1/2ක් යනකොට මං සම්පූර්ණයෙන් සුව කළා. ඊට පසුව භෞතික චිකිත්සකයේ පරීක්ෂාවට ලක්වුණා.

ස්කෑන් කළා. යෝග්‍යතාව බැලුවා. මහේල මට කිව්වා ඩොක්ටර් මේ ගොල්ලන් පුදුමයට පත්වෙලා ඉන්නේ ඩොක්ටර්ගේ ප්‍රතිකාරය ගැන කියලා. ඔවුන් කිව්වේ මෙතරම් ඉක්මනට සුව කිරීම ලෝක වාර්තාවක් කියලයි.

ඊට පස්සේ කුනාල් පාණ්ඩේ මැච් එක ගහලා. මැච් එක දිනවලා තරගයේ වීරයා බවටත් පත්වුණා. කුනාල් පාණ්ඩේ කියන්නේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හයිද්‍රික් පාණ්ඩේගේ සහෝදරයා.

ඔබ රාජ්‍ය නායකයන් කිහිපදෙනකුගේම ප්‍රධාන වෛද්‍යවරයා වශයෙනුත් කටයුතු කරනවා කියලා දැනගන්න ලැබුණා. – අනේ සමාවෙන්න. ආරක්ෂක හේතූන් මත ඒ ගැන මට වැඩි විස්තර කියන්න අවසරයක් නැහැ. මේ අවස්ථාවේදී ලෝකයේ ප්‍රධාන රටවල් ඇතුළු රටවල් 9ක රාජ්‍ය නායකයන්ගේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස මං කටයුතු කරනවා.

ඒ ඇරෙන්න 2004 වර්ෂයේ සිට පමණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වෛද්‍යවරයා ලෙස තවමත් කටයුතු කරනවා. එම රාජ්‍ය නායකයන්ගෙන් පණිඩුවයක් ලැබුණු ගමන් මං යනවා. ඒ නිසා මට පෞද්ගලික ගුවන් යානයක් ලබාදීලත් තියෙනවා. ඒ ප්‍රතිකාර කටයුතු, ඖෂධ ගෙනයෑම සිදුකරන්නේ දැඩි ආරක්ෂක ක්‍රමවේදයකට නිසා උපරිම ආරක්ෂාවකුත් මට ලබාදීලා තියෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම වර්තමානයේ විස්තර ප්‍රචාරකයකු වන ඉයන් චැපල් පසුගියදා ඔබ හමුවුණේ ප්‍රතිකාර ලබා ගන්නද? – ඔව්. ඔහුගේ අත උස්සන්න බැරිව හිටියේ. ඕස්ට්‍රේලියාවෙන් ප්‍රතිකාර අරගෙනත් හරිගියේ නැහැ. මං පැය ගණනකින් ඔහුව සුවපත් කළා.

ඉන්දියාවේ කලාකරුවන් ඔබගෙන් ප්‍රතිකාර ලබා ගන්නවාද? – ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියන්, ගායක ගායිකාවන්, සිනමා අධ්‍යක්ෂවරුන්, සංගීත අධ්‍යක්ෂවරුන් මේ සියලුදෙනාගෙන් 75%ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නේ මගෙන්.

මේ දවස්වල කාටද ප්‍රතිකාර කරන්නේ? – මං අපේ රටේ ඉන්න කොට මේ දවස්වල ඇවිල්ලා ඉන්නවා තමිල්නාඩුවේ ඉලේ රාජාගේ මල්ලි ගංගි අමරන්් මගෙන් ප්‍රතිකාර ලබනවා. ඔහුගේ පුතා වෙන්කට් ප්‍රභූත් පැමිණ මගෙන් ප්‍රතිකාර ලබාගත්තා. ලෝක ප්‍රකට සංගීතවේදී ඉලේ රාජාගේ මල්ලි තමයි ගංගි අමරන් කියන්නේ. ගංගි අමරනුත් ඉතා ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙක්.

ළඟදීම ප්‍රතිකාර කිරීමට සූදානමින් සිටින විශේෂ පුද්ගලයෙක් එහෙම ඉන්නවාද? – ඔව්. රැජින කාන්ත් මගෙන් ප්‍රතිකාර ලබාගන්න තීරණය කරලා ඉන්නේ. රැජිනි කාන්ත්ට ප්‍රතිකාර කිරීම ළඟදීම ආරම්භ කරනවා.

ඔබගේ මෙම විශේෂ වෛද්‍ය ක්‍රමය ගැන තවත් යමක් කියන්න තිබෙනවාද? – මෙම වෛද්‍ය ක්‍රමයට කියන්නේ “වීනපති” කියලා. ලෝකයේ වෛකල්පිත වෛද්‍ය සභාව වීනපති වෛද්‍ය ක්‍රමය පිළිගෙන තිබෙනවා. මේ ක්‍රමය නව පරපුරට හඳුන්වා දෙන්න මං කැමැතියි. නමුත් මගේ දැඩි කාර්යබහුලත්වය ඊට බාධාවක් වෙලා. ඒ ගැන ඉදිරියේදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.

මගේ දුවත්, පුතත් මේ වෛද්‍ය ක්‍රමය හදාරමින් අදාළ විභාගවලට මුහුණ දෙමින් සිටිනවා. දියණිය ගුවන් නියමුවරියක්. පුතා පරිගණක ඉන්ජිනේරුවෙක්. දෙදෙනාම මේ වෛද්‍ය ක්‍රමය ඉගෙන ගැනීමට කැමැතියි. ඉස්සර වෙලාම දුව මගේ පුටුවේ වාඩිවෙයි කියලා මම හිතනවා!

ඔබට ඕනෑම රෝගයක් සුව කරන්න පුළුවන්ද? – පිළිකාවේ සිට ඕනෑම වර්ගයක දරුණු රෝගාබාධාවලට මං ප්‍රතිකාර කරනවා. ඒත් කාලයක් අපේ දේශපාලන නායකයන් ප්‍රකාශ කළා ගැහැනියක්, මිනිසෙක් කරන්නත්, මිනිසෙක් ගැහැනියක් කරන්නත් විතරයි බැරි කියලා. මේ වෛද්‍ය ක්‍රමයෙන් ඒකත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.

මෙවැනි ආශ්චර්යයක් කරන්න ඔබට තිබෙන සුවිශේෂී හැකියාව කුමක්ද? – මට අවුරුදු 12දී පමණ යම් හැකියාවක් ඇති වුණා විශ්වයේ බලය සමඟ කටයුතු කිරීමට. ඒක වැඩිදියුණු කරලා කුණ්ඩලී ශක්තියෙන් සන්නිවේදනය විශ්වය සමඟ සිදුකරලා මේ ආශීර්වාදාත්මක වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මේවට ඔෟෂධ අවශ්‍ය වෙනවා. ඒ ඔෟෂධ දැනට හොයගන්නේ හිමාලයෙන්. වීනපති වෛද්‍ය ක්‍රමය සමාජගත කළොත් හුඟදෙනකුට මෙම ප්‍රතිකාරය ලබාගන්න පුළුවන්.

ඔබගේ බලාපොරොත්තු මොනවාද? – ලෝකයේ කොහේ ගිහිල්ලා ප්‍රතිකාර කළත් මං කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. මගේ සේවය තුළින් මං විශාල ගෞරවයක් ශ්‍රී ලංකාවට ලබාදීලා තිබෙනවා. කිහිපදෙනකු මට එක එක මඩ ගහනවා. ඒත් මං ගණන් ගන්නේ නැහැ. මගේ පියා බි්‍රතාන්‍ය ජාතිකයෙක්. මව ශ්‍රී ලංකා කාන්තාවක්. මං ඉපදුණේ කොළඹ. රටවල් රැසකින් ඇරයුම් ආවත් මං ශ්‍රී ලංකාව දාලා යන්නේ නැහැ. සටහන – wk මංජු ප්‍රසාද්,මව්බිම

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!