Breaking News
Home / දේශීය පුවත් / අනාගත පරපුරට පෙන්විමටවත් සංරක්ෂණය නොකර මහින්දගේ ඇතුළු ජනපතින්ගේ කෝටි ගානක් වටිනා වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි.

අනාගත පරපුරට පෙන්විමටවත් සංරක්ෂණය නොකර මහින්දගේ ඇතුළු ජනපතින්ගේ කෝටි ගානක් වටිනා වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි.

ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ  ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.

මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.

එම කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස් රණසිංහ පවසන්නේ.

මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. ඒවා නාවික හමුදාව වෙත ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලය මගින්.

මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.

අමෙරකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස.එස් රණසිංහ සඳහන් කළේ.

මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

උණ්‌ඩයත් ජයගෙන ගැඹුරු දියට බිලි වන ඡේ.ආර්ගේ,චන්ද්‍රිකාගේ,මහින්දගේ වෙඩි නොවදින රථ මෙන්න..!

පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කර ඇති බව ඉකුත් ඉරිදා  මුල් පුවතය. මෙසේ මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස්‌ බෙන්ස්‌, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ ද ඇත. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් මේ වෙඩි නොවදින රිය භාවිත කරන ලදි. වෙඩි නොවදින රියක්‌ දිගු කාලයක්‌ පරිහරණය කරනු නොලැබේ. ඒ රිය බරින් බොහෝ වැඩි නිසා ඉතා කෙටි කාලයක්‌ තුළ එන්ජිම ක්‍ෂය වෙයි.

එවිට අලුතින් එන්ජිමක්‌ තැබීමක්‌ හැර අන් පිළියමක්‌ නැත. එය ඉතාම මිල අධික කාරණයක්‌ නිසා වෙඩි නොවදින රථයක්‌ දිගු කලක්‌ පරිහරණය කළ නොහැක. රථයේ වීදුරු හැර වෙඩි වැදීමට ඉඩ ඇති සෑම කොටසක්‌ම ආවරණය වන පරිදි ඇතුළතින් High Carbon තහඩු හෙවත් කාබන් සංයුතිය අධික ඝනකම් වානේ තහඩුවලින් සාදා ඇත. කාබන් අධික වානේ සංයුතියක්‌ ඇති තවත් ද්‍රව්‍යයක්‌ වන රේල් පීලි උණු කිරීමට ලංකාවේදී බැරි වන්නේ යම් සේද , වෙඩි නොවදින රථවල තිබෙන කාබන් අධික වානේ තහඩු, උණු කළ නොහැක. ඒවා උණු කළහැකි තාක්‍ෂණ පිටරටවල තිබුණ ද ප්‍රවාහන වියදම් අධික බැවින්ද, ලංකාව තුළ එකතුවන කාබන් අධික වානේ තහඩු ඉතා ස්‌වල්පයක්‌ වන බැවින්ද එම තහඩු රට පැටවීම පාඩුය.

මේ නිසා කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක්‌ මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.

වෙඩි නොවදින රථ වර්ග දෙකක්‌ තිබේ. පළමුවැන්න වෙඩි නොවදින යුද රථය. දෙවැන්න වෙඩි නොවදින VIP කාර්ය. මේවා වෙඩි නොවදින සිවිල් වාහන ලෙස ද හඳුන්වනු ලැබේ. ඉහත වර්ගයේ වාහන වැඩි වශයෙන් නිපදවනු ලබන්නේ අවුඩි, ලින්කන් ටවුන් කාර්, හුන්ඩායි, BMW මර්සඩීස්‌ බෙන්ස්‌, බෙන්ට්‌ලි, ජගුවර්, කැඩිලැක්‌ , ටොයෝටා යන සමාගම් විසිනි. මේ සමාගම් සියල්ලම විසින් නිපදවනු ලබන වෙඩි නොවදින රථ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ වෙඩි නොවදින රියක්‌, ඇමරිකාවේ තිබේ. එය ඇමරිකන් ජනාධිපති පරිහරණය කරන රථයයි. අධි බර දැරිය හැකි ට්‍රක්‌ රථයක චැසිය හා සමාන අධි කාබන් වානේ චැසියක්‌ මත ඉදිකර ඇති මේ රථය කැඩිලැක්‌ සමාගමේ නිර්මාණයකි. ඩොලර් කෝටි 1000 ක්‌ දුන්නත් ඒ හා සමාන රථයක්‌ සෑදීමේ ඇනවුම කැඩිලැක්‌ සමාගම භාර ගන්නේ නැත.

වෙඩි නොවදින ඪෂඡ රථයක්‌ සාදන්නේ කෙසේද? එහි පිටස්‌තර පෙනුම සුඛෝපභෝගී රථයක්‌ හා සමාන ය. අභ්‍යන්තරය අන් රථවලට වෙනස්‌ ය. රථය ඇතුළත එන්ජිම සහ පෙට්‍රල් ටැංකිය අධි කාබන් වානේ තහඩුවලින් ආවරණය කර ඇත. එහි ජනෙල් වීදුරු ඉදිරිපස සහ පිටුපස වීදුරු මි. මී. 10 සිට 20 දක්‌වා ඝනකම් ය. එම වීදුරු එකිනෙක මත අලවන ලද ස්‌ථර කිහිපයකින් සමන්විතය. ටයර් ගල් ටයර් ය. එබැවින් ටයර්වලට වෙඩි වැදුණ ද හානියක්‌ වන්නේ නැත. වෙඩි නොවදින සෑම රථයකම ගිනි නිවන උපකරණ, ඔක්‌සිජන් යනාදිය තිබේ. ප්‍රහාරයක්‌ එල්ලවූ සැනින් රථයේ දොරවල් සියල්ල අගුල් වැටේ. ඒවා පිටතින් ඇරිය නොහැක. ඇමෙරිකන් ජනපතිගේ වෙඩි නොවදින නිල රථය තුළ ඔහුගේ රුධිර වර්ගයට අයත් ලේ පයින්ට්‌ කිහිපයක්‌, සේලයින්, ප්‍රථමාධාර ගිනි අවි යනාදිය ද තිබේ.

වෙඩි නොවදින රථ ලෙස කටවහරේ හැඳින්වුව ද එවැනි රිය වර්ගයක්‌ ලොව නැත. ඕනෑම රථයකට වෙඩි වදී. වෙඩි නොවදින රථයකට වෙඩි තබන විට සිදුවන්නේ මුනිස්‌සම හෝ උණ්‌ඩය රථයේ පිටත තහඩුව පසා කර ගෙන ගොස්‌ ඇතුළත වානේ තහඩුවේ ගැටී එතැනින් එහා යැම නැවැත්වීමය. පිටත තහඩුව සිදුරු කරන උණ්‌ඩයේ වේගය කොහොමටත් බාල වේ. එවිට උණ්‌ඩය අධි කාබන් වානේ තහඩුව ඉදිරිපිට අසරණ වෙයි.

ඇමෙරිකන් ජනාධිපති, රුසියන් ජනාධිපති, චීන ජනාධිපති වැනි බලගතු පුද්ගලයන්ගේ රථවලට හැර සෙසු රාජ්‍ය නායකයන් සහ ප්‍රභූවරුන්ගේ (VIP) රථවලට මිසයිල පහර එල්ල නොවන බවට ප්‍රතිපත්තිමය අවබෝධයක්‌ වෙඩි නොවදින රථ නිපදවන්නන් අතර ඇත. ඒ නිසා සෙසු රාජ්‍ය නායකයන්ගේ රථ නිපදවන විට සැලකිල්ලට ගන්නේ අත්බෝම්බ, පැති බෝම්බ සහ බිම් බෝම්බ ප්‍රහාර, T 56 තුවක්‌කුවලින් තබන වෙඩි සහ පිස්‌තෝල උණ්‌ඩවලින් සිදුවන ප්‍රහාර පමණි. රාජ්‍ය නායකයා තම වෙඩි නොවදින රථයේ නැඟී යන විට කාලතුවක්‌කුවක්‌ තල්ලු කරගෙන විත් වෙඩි තබන හෝ යුද ටැංකියකින් පැමිණ එහි තිබෙන තුවක්‌කුවෙන් වෙඩි තබන ජනයා සිටින රටක්‌ නැත.

හොඳම තත්ත්වයේ වෙඩි නොවදින රියක්‌ ඩොලර් ලක්‍ෂයක්‌ හෙවත් මෙරට මුදලින් රුපියල් එක්‌ කෝටි පනස්‌ පන් ලක්‍ෂයකි. ඒ අතර රුපියල් ලක්‍ෂ 15 ටත් වෙඩි නොවදින රථ ඇත. ඒවා පාවිච්චි කරන්නේ ත්‍රස්‌තවාදීන් නොව දාමරික හොරුන් බහුලව ගැවසෙන බ්‍රසීලය වැනි රටවල ය. මේ සොරුන් අත නවීන අවි නැත. වැඩිම වුණොත් ඇත්තේ අත්බෝම්බයක්‌ සහ පිස්‌තෝලයකි. ලංකාවේ එවැනි තත්ත්වයක්‌ පුළුල් ලෙස පැතිර නැත. එබැවින් අපේ රටේ තිබෙන පැරණි වෙඩි නොවදින රථ ගඟේ මුහුදේ දැමීම හැර අන් විකල්පයක්‌ බලධාරීන්ට නැත.

ගයාන් සමරසිංහ

About lanka

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!